Rishad Bathiudeen's threat to a doctor to be investigated

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා  බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර අධිකාරීවරයෙකු යොදවා පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.





පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි රෝගීන් පරීක්ෂා කරන බෙහෙත් ශාලාව තුළදී මෙම සිද්ධිය ඇති වූ බවට චෝදනා එල්ල කර තිබුණි.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය,

“බන්ධනාගාරයේ රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මහතා විසින් රාජකාරියට බාධා කිරීම, අපහාසාත්මකව බැණවැදීම සහ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාටත් පොලිස්පතිතුමාටත් වෛද්‍ය අධ්‍යක්ෂකතුමාටත් පැමිණිලි කරලා තියෙනවා. අදාළ මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝගීන් සඳහා බෙහෙත් ලබාදෙන ස්ථානයට පැමිණ බන්ධනාගාර වෛද්‍යවරයා සමග යම් කතාවක් ඇතිකරගෙන එහිදී බන්ධනාගාර වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස බැණවැදිලා මරණ තර්ජන එල්ලකරලා තියෙනවා. මේ සම්බන්ධව පොලීසිය මගින් ද පරීක්ෂණයක් කරනවා.”