Trees have been removed from a canal in the Tabbowa Sanctuary for a project to beautify Colombo

තබ්බෝව අභය භූමියට අයත් 12 කණුව ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් ස්වභාවික ශාක නීති විරෝධී අයුරින් ගලවමින් සිටි 7 දෙනකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලය පවසයි.    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව 12 කණුව හා ඒ අවට පදිංචිකරුවන් පිරිසක් බව වනජීවී නිලධාරිහු කියති.  තබ්බෝව අභය භූමියේ ඇළ මාර්ගයක තිබූ කුඹුක්, බුළු, කරඳ, මී, වෙලන් ඇතුළු ශාක මෙසේ නීති විරෝධී අයුරින් ගලවමින් සිටියදී මෙම හත්දෙනා වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ. රුපියල් මිලියන 3500ක මුදලක් වැය කරමින් කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වැඩසටහනක් බවට පැවසෙන නාගරික තුරු ගොමු ස්ථාපනය, මාර්ග දෙපස රුක්  රෝපණය හා ඇවිදින මංතීරු අවට සිටුවීමට මෙම ශාක ගලවා ඇති බව වනජීවී නිලධාරින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.



ශාක ගැලවීම සඳහා පුත්තලම දිසා වන නිලධාරි ගල්විල අඩවි වන නිලධාරිවරයාට උපදෙස් දීමෙන් පසුව 12 කණුව ප්‍රදේශයේ තැනැත්තකුට කොන්ත්‍රාත්තුව බාර දී ඇති බව ද අනාවරණය වී තිබේ.  ව්‍යාපෘතිය මගින් එක් ශාකයක් සඳහා රුපියල් 4000 ක මුදලක්   වෙන් කර ඇති නමුත් මෙම පැළ ගලවමින් සිටි කම්කරුවකුට එක ශාකයක් ගලවා රුට් බෝල් ක්‍රමයට සකසා දීම සඳහා රුපියල් 500ක මුදලක් ගෙවීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී සනාථ වී ඇත.  කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මගින් මෙම ශාක වනජීවී කලාප හෝ වන සංරක්ෂණ කලාපවලින් ගලවා එවන ලෙසට කිසිදු සඳහනක් නොමැති බවට මේ පිළිබඳව කළ සොයා බැලීමේදී සනාථ විය.


තබ්බෝව අභය භූමියේ ස්වභාවික ශාක පද්ධතිය වනසමින් මෙසේ ගලවා ඇති බව ද වනජීවී නිලධාරීහු පැවසූහ. වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව අභය භූමියකට  අවසරයකින් තොරව ඇතුළුවීම හා ශාක ගැලවීමේ චෝදනාවට  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටි අතර මොවුන් පිරිස  වනජීවී බැඳුම්කර මත මත මුදාහැරිය බවත් ඉදිරියේදී නඩු  පැවරිමට කටයුතු කරන බවත් කරුවලගස්වැව අඩවි වනජීවී  කාර්යාලය පවසයි.

පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගේ  උපදෙස් මත කරුවලගස්වැව අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි  ආරක්ෂක ඩී. රාමසිංහ සමග වන සත්ව අඩවි සහකාර කේ.ඒ.  උපාලි රණසිංහ යන මහත්වරුන් ඇතුළු වනජීවී නිලධාරිහු පිරිසක් වැටලීමට එක්ව සිටියහ.


-ජයරත්න වික්‍රමආරච්චි-