The-former-Education-Minister-said-that-there-are-no-educational-channels-yet-the-radio-is-also-informal

හිටපු අධ්‍යාපන ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් සිය ධූරයේ අවසන් කාලයේදී අගොස්තු 12 ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම වසංගත සමයේ නිවෙස්වල රැඳී සිටින සිසු දරුවන් වෙනුවෙන් රූපවාහිනී අධ්‍යාපන නාලිකා 6 ක් හා එෆ්එම් නාලිකා වක් අරඹන බවත් එය එකී ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ සතියට ඊළඟ සතියේ එනම් අගොස්තු 16-21 අතරම අරඹන බවත් දැනුම් දුන්නේය.
පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත් ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති බවත් දැනට 6ක්වූ රූපවාහිනී නාලිකා 20 දක්වා වර්ධනය වන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව අරඹන අතර ටෙලිකොම් පීයෝටීවී ආයතනය හා ඒකාබද්ධව රූපවාහිනී නාලිකා අරඹන බව කීය.

එම ප්‍රකාශය සිදුකර දෙවන සතිය ගතවන අද අගොස්තු 24 සොයාබැලීමේදී එවැනි රූපවාහිනී නාලිකා එකක් හෝ පියෝ ටීවී නරඹන්නන්ට දක්නට නොලැබේ. එවැන්නක් තවම ඇරඹී නැත.



ගුවන් විදුලි නාලිකාව ගැන සොයා බැලීමේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව විකාශය වන බව හඳුනාගන්නට ලැබේ.

කෙසේ වෙතත් එකී ගුවන් විදුලි නාලිකාව 8 පන්තියේ විද්‍යාව 6 පන්තියේ ඉතිහාසය ආදි ලෙස සසම්භාවී ලෙස විවිධ අධ්‍යාපන වැඩසටහන් දවස පුරා විකාශය කරන අතර කිසියම් සිසුවෙකු එය අසන්නට සැලසුම් කරයි නම් එහි වැඩසටහන් විස්තරයක් තිබිය යුතුය. එවැන්නක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වෙබ් අඩවියේ හෝ විෂන් එෆ්එම් ෆේස් බුක් පිටුවේ හෝ ප්‍රසිද්ධ කර නැත. ඒනිසා තමන්ට ගැළපෙන වැඩසටහනක් එනතුරු  වරින්වර ගුවන්විදුලි නාලිකාව දමමින් එය තුළ සොයමින් සිසුවෙකු දුෂ්කර ව්‍යායාමයක නිරතවිය යුතු අතර එතරම් කරදරවී වැඩසටහන් සොයාගෙන ඊට යොමුවන අය සිටීද යන්න විමසා බැලිය යුත්තකි.

රූපවාහිනී නාලිකා අරඹන බවට හිටපු අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය සිදු කර ඊළඟ සතියේ ඇමතිවරයා මාරුවූ නමුත් අදාළ ව්‍යාපෘති භාර අය හෝ සැලසුම් මාරුවූයේ යයි වාර්තා නොවේ.
නව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන තවම ඒ ගැන කිසිවක් කියා නැත.
මේ අතර නව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම සිය ආරම්භක රැස්වීමේදී සති දෙකක් තුළ රූපවාහිනී නාලිකා ඇරඹීමට ප්‍රමුඛතාව ලබාදී වැඩකරන බව කියා තිබේ.



හිටපු ඇමතිවරයා විස්තර කළ පරිදි රජය මගින් විකාශය කරන මෙම අධ්‍යාපන නාලිකා නැරඹීමට පියෝ ටීවී සම්බන්ධතාවය නොමිලේ නොලැබෙන අතර සෙටප් ටොප් බොක්ස් මිලට ගැනීමට හා සම්බන්ධතා ගාස්තු මෙන්ම මාස්පතා ගාස්තුද ගෙවිය යුතුවේ.
මේ දක්වා ඩයලොග්ටීවී වැනි සැටලයිට් ටීවී සම්බන්ධතා තිබෙන සිසුන්ගේ ගෙවල් වලට මෙම නාලිකා නරඹන්නට අවශ්‍ය නම් එම සම්බන්ධතා නවතා දමා හෝ එයට අමතරව ‘පියෝ ටීවී‘ වෙත මාරු විය යුතුය.
ඇන්ටනාවකින් ‘ෆ්‍රී ටු එයාර්‘ නාලිකා පමණක් නරඹන දිවයිනේ බහුතර නිවාස වලට මෙම අධ්‍යාපන නාලිකා නරඹන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත.