Suspicious woman who pretended to be pregnant rented a house in Madampe with her illegitimate husband

 බොරු දරු ගැබක් පෙන්වා ව්‍යාජ ගැබිනියක ලෙස පෙනී සිටි කාන්තාවක අසල්වැසියන් මුළා කරමින් අනියම් සැමියා සමග කුලී නිවෙසක ජීවත්ව සිටියදී හමුවී ඇතැයි මාදම්පේ පොලිසිය කියයි.

මාදම්පේ - සෙම්බුකට්ටිය, ලියගොමුව වතේ අලුතින් ඉදිකෙරෙන නිවෙසකට පසුගිය මැයි මාසයේදී යුවළක් පැමිණ ඇති අතර එහි පිරිමියා පවසා ඇත්තේ තමන් විවාහක බිරිඳගෙන් වෙන්වී මෙම කාන්තාව සමග ජීවත් වන බවය.මාස කීපයක් ඔවුන් මෙම නිවෙසේ ගත කර ඇතත් අසල්වැසි කිසිවකු සමග සම්බන්ධතාපවත්වා නැත.

එහෙත් අවට පදිංචි කාන්තාවන් කීප දෙනකු ආගන්තුක ගැබිනි කාන්තාවට විවිධ ආහාර පාන ගෙනවිත් දීමට ද කාරුණික වී ඇත. දිවා කාලය තුළ නිවසටම වී කාලය ගත කරන කාන්තාව සවස් කාලයේදී පමණක් යතුරුපැදියක නැගී එය පදවාගෙන නිවෙසින් පිටත්ව යන බවක් ද ගම්වාසීන්ට දැකගන්නට ලැබී තිබේ.

මේ අතර පසුගිය 22 වැනිදා දහවල් කාලයේ අසල්වැසියකු දැක ඇත්තේ මෙම කාන්තාව දරු ගැබක් නොමැතිව සාමාන්‍ය තත්වයෙන් කුලී නිවස පිටුපස සිටින ආකාරයයි.මෙම ආරංචිය ගම්මානය තුළ පැතිර යාමත් සමග අවට පදිංචිකරුවන් නිවස වටලා විස්තරවීමසන අතරතුර මාදම්පේ පොලිස් නිලධාරීන් ද පැමිණ මූලික විමර්ශනයක් ආරම්භ කළේය.මාදම්පේ පොලිසියට කැඳවාගෙන ගිය කාන්තාව පරික්ෂා කිරිමේදී අනාවරණය වී ඇත්තේ ඇය ව්‍යාජ ගැබිනියක් බවය. ඇය තමන් ගැබිනියක බව පෙන්වීම සඳහාත්කොට්ටයක් සහ රෙදි කීපයක් ද භාවිත කර ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබීය.



ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාවගේ සැමියා මහරගමරෝහලේ සේවය කරන බව කියයි.ඔහු වෙනත් කාන්තාවක සමග එම ප්‍රදේශයේ ජීවත් වන නිසා සැමියා නැවත තමන් වෙත කැඳවා ගැනීමේ අදහසින් ව්‍යාජ රංගනයක නිරත වූ බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පවසා ඇත.කාත්තාව සමග සිටි පිරිමියා පවසා ඇත්තේ තමන් විවාහක බිරිඳගෙන් වෙන්වී මෙම කාන්තාව සමග ජීවත් වන බවයි. එමෙන්ම ඔහු පිළිකා රෝගියකු බව කුලී නිවෙසේ හිමිකරුවන් සමග පවසා ඇතැයි ද පොලිසිය පවසයි.සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් සැමියා කුලී නිවසේ රැඳී සිටිමින් කිසියම් ජාවාරමක නිරත වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව මාදම්පේ පොලිසිය පවසයි.

(පුන්තලම - එච්. චන්දන)