තම මන්ත්‍රි වැටුප කොවිඩ් - 19 වසංගතය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා
පරිත්‍යාග කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර තීරණය කොට ඇත.





එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම මේ මාසයේ ඔවුන්ට හිමි මුළු වැටුපම කොවිඩ් -
19 වසංගත තත්ත්වය නිසා අසරණව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය
කර ඇති බවත් එම වැටුප සෞඛ්‍ය අංශවලට ලබාදීමට ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ
බවද අමාත්‍යවරයා පැවැසීය.

 “කොවිඩ් වසංගතය අවසන් වන තෙක් ලබන මාසයේ සිට මම නැවත මන්ත්‍රි වැටුප ලබාගන්නේ නැහැ.
එම වැටුප මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා පිරිනමනවා. අවශ්‍ය වුවහොත්
මට මන්ත්‍රිවරයකු වශයෙන් හිමිවන සියලු වරප්‍රසාද කැප කරන්න මම සූදානම්. රටේ ජනතාව දුක් විඳින
අවස්ථාවක ඔවුන්ගේ බදු මුදලින් නඩත්තු වන සියලු මන්ත්‍රිවරුන් ඒ සඳහා කැපවිය යුතුයි. මේ වෙලාවේ
අපිට වටින්නේ අපේ රටේ ජනතාවයි. එසේ නැතුව අප මේ වරප්‍රසාද ලබාගෙන ඒවා භුක්ති විඳීම යුක්ති
සහගත නැහැ.

ඒ නිසා අවශ්‍ය නම් අපිට ලබා දී තිබෙන නිල වාහන වුවත් ඒ සඳහා පරිත්‍යාග කරන්න මම සූදානම්.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන්ට දී ඇති වරප්‍රසාද කැප කිරීමට ඉදිරිපත් වන්නැයි මා කළ ඉල්ලීම නිසා
මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පවා ඒ සඳහා උනන්දු වී
සිටිනවා.

සමහර මන්ත්‍රිවරුන් දැනටමත් එම කැපවීම සිදු කර තිබෙනවා. මම ඒ සියලුදෙනාට ස්තුතිවන්ත
වෙනවා.

තමන්ට හිමි මන්ත්‍රි වැටුප මෙන්ම අනෙකුත් දීමනා කොවිඩ් - 19 නිසා අසරණව සිටින අපේ රටේ ජනතාව
වෙනුවෙන් කැප කරන ලෙස මම ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගෙනුත් ගෞරවයෙන්
ඉල්ලා සිටිනවා. ඒ වගේම අමාත්‍ය පෞද්ගලික කාර්යමණ්ඩලවලටත් අඩු තරමින් එක් මාසයක හෝ තමන්ට
හිමිවන පහසුකම් සඳහා වැයවන මුදලින් යම් ප්‍රමාණයක් හෝ රටේ ජනතාව වෙනුවෙන්  කැප කිරීමට පිළිවන්.”