
කටුනායක ඇවරිවත්ත සුමිත්‍රාරාම විහාරස්ථානයේ ඊයේ (18 වැනිදා) පැවැති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට දහවල් 11.30ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ඒ වනවිට එන්නත් ලබාගැනීම සඳහා පෝළිම් 2ක ප්‍රදේශවාසීන් 4,000ක් පමණ රැදී සිටියදී විහාරස්ථානයේ ආවරණ මන්දිරය තුළ බඹර වද දෙකක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ඒ අසල කුණු ගොඩවල් දෙකක් ගිනි තබා එයින් දුමාරයක් ද පිටවෙමින් තිබූ අතර,
බඹරුන් ඇවිස්සීමට එය හේතු වන්නට ඇති බවට ප්‍රදේශවාසීහු අනුමාන කරති.මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම එන්නත් ලබාගැනීමට පෝළිම් තුළ රැඳී සිටි පිරිස සහ එන්නත් ලබාදෙමින් සිටින් නිලධාරීන් පිරිස ද හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි. පසුව කටුනායක පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමෙන් පසුව යළිත් දහවල් 12.00ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි. මෙහිදී බඹර ප්‍රහාරයට ලක්වූ කිහිප දෙනෙක් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබ සිටිති.
(කටුනායක ටී.කේ.ජී. කපිල)
Comments
Post a Comment
Your comment will be visible after approval