The Central Bank explains the limitations of local and foreign transactions with credit cards

ශ්‍රී ලංකාවේ මුදල් විදේශ වෙත යාම වළක්වා ලීමේ අටියෙන් විදේශ සමග සිදු කරන ගනුදෙනු වලදී විශේෂයෙන් විදේශ ආයතන වලට ඩිජිටල් ගෙවීම් ආදියෙහිදී ක්‍රෙඩිට් කාඩ්, වෙබ් කාඩ්, ඩෙබිට් කාඩ් ආදිය එකවර ගෙවීම් ඩොලර් 200 සීමාවකට යටත් කර ඇති බවට මේ දිනවල ආරංචි පැතිර තිබේ.


අද දින ශ්‍රී ලංකා මහ බැංකුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ ගැන සිදු කරන ලද විමසීමේදී විදේශ ‌ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන නමුත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරේ නැත.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයුම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සොයා බලන බවයි.
 බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන් මහතා ඒ ගැන මෙසේ කියා සිටියේය.


 "ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරලා ඒය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නාර්ථයක් විය හැකියි."
මෙම සාකච්ඡාවේදී නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව දන්වා සිටියාය.
 නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මේ බව පැහැදිලි කළේ මෙසේය.

"මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ.

දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ."