Hingurakgoda-Principal-Thero-who-molested-children-has-not-been-granted-bail

තමා විදුහල්පතීත්වය හොබවන පාසලේ බාලවයස්කාර පිරිමි දරුවන් කිහිපදෙනකුට ලිංගික අතවර සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබ සිටින විදුහල්පති හිමිනමක ඇප මත මුදාහරින ලෙස සැකකරුගේ නිතීඥයින් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා, 

සකකාර හිමිනමට ලබත සැප්තම්බර් මස 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (18) නියෝග කළේය. මෙම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා  පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජාගොඩ මහතාට නියෝග කළේය.  මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේ  ගිරිතලේගම සිරි සුජාත නමැති හිගුරක්ගොඩ ප්‍රදේශයේ විදුහලක විදුහල්පති හිමිනමකි.




මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (18) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වින්දිත දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධියේ පැමිණිලිකාර වින්දිත දරුවන් සියලු දෙනා මෙම සැකකරු විදුහල්පතීත්වය හොබවන පාසලේම ඔහු යටතේ අධ්‍යාපනය ලබන සිසුන් බවය.

මෙය බරපතළ තත්වයක් බව ද අධිකරණයට සැලකළ නීතිඥ හබක්කල මහතා යම් අධිකරණයක් තීන්දු ලබා දීමේදී රටේ සමාජයේ මිනිසුන්ගේ මතය මෙන්ම හැසිරීම අධිකරණයට අදාළ නොවන බව ද ප්‍රකාශ කළේය. එහෙත් යම් අපරාධමය සිද්ධියකට අදාළව ඇප නියම කිරීමේදී රටේ සමාජයේ වෙසෙන මිනිසුන්ගේ හැසිරීම කැළඹීම පිළිබඳව සලකා බැලීමට අධිකරණය බැදී සිටින බවත් නීතිය එය බවත් නීතිඥවරයා අධිකරණයට සැල කළේය.



ඒ අනුව මෙම සැකකරු සිදුකර ඇති බව කියන මෙම අපරාධමය සිද්ධීන් හේතු කොටගෙන හිඟුරන්ගොඩ ප්‍රදේශයේ මව්පියන්ගේත් පොදුවේ මහජනතාවගේත් දැඩි කැළඹිමක් පවතින බව ද  අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා, වින්දිත දරුවන් අධ්‍යාපනය ලබන්නේ සැකකරු විදුහල්පති තනතුර හොබවන පාසලේ නිසා සැකකරුට ඇප ලබා  දුන්නොත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව ද කීවේය. ඒ අනුව සැකකරු ඇප මත මුදාහැරීමට තමා දැඩි විරෝධය පළ කරන බව ද නීතිඥවරයා සඳහන් කළේය.  




මෙහිදී පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජාගොඩ මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් උප පොලිස් පරික්ෂක හේමරත්න සහ සැරයන් (27373) වීරතුංග යන මහත්වරුන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම අපරාධමය සිද්ධීන් පිළිබඳව සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති බවය. ඒ හේතුවෙන් සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයිද පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරාජ් වල්ගම මහතා ඇතුළු නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ මහජන කැළඹීමක් ඇති වන බවට දෙමව්පියන් කිහිප දෙනකු පමණක් බොරුවක් මවාපෑමක් සිදු කරන බවත් ඇප ලබා දීමෙන් එවැනි  මහජන කැළඹීමක් ඇති නොවන බවය. ඒ අනුව ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකරු මුදාහරින ලෙස ද නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ලබන 8 වැනිදා තෙක් ඔහු රක්ෂිත භාරයේ තැබීමට නියම කළේය.


 -උපාලි ආනන්ද-