කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.
රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන් මෙන් පස් ගුණයක් එම රෝගීන් සමාජයේ සිටිය හැකියැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
මේ ත්ත්වය පාලනයට නම් හැකි පමණට සංචරණ සීමා පැනවීම කළ යුතු බවද ඇය සඳහන් කළාය.


රෝහල්වල වාට්ටු රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ජනතාව පොදුවේ සෞඛ්‍ය නීති හරියාකාරව පිළිනොපදින තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.
 ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත් වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි.
මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් රටක් ලෙස මෙය පාලනය කිරීම ඉතා අපහසු බව ද ඇය පෙන්වා දෙයි.
මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම සංචරන සීමා පැනවිය යුතු බවද ඇය අවධාරණය කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය.
ඔක්සිජන් හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ,  හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබෙන අතර ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ රෝහල්වල තවත් වාට්ටු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සකස් කරමින් ඇතැයිද හේරත් මහතා ප්‍රකාශ කළේය.