400 kilos of illegal polythene lunch sheets seized

කොළඹ - 11 ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාර ස්ථාන 03ක තිබී නීතියෙන් තහනම් කරන ලද පොලිතින් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන අදාළ ආයතනවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිර්මට මධ්‍යම පරිසර අධිකාරි කටයුතු කර තිබේ.එම අධිකාරිය සඳහන් කර සිටියේ, කොළඹ - 11 බෝධිරාජ මාවතේ පිහිටි තොග වෙළෙඳ ආයතනයක සහ කොළඹ - 11, 05වැනි හරස් වීදියේ වෙළෙඳ සැල් 02ක තිබී අදාළ ලන්ච්ෂීට් තොග අත්අඩංගුවට ගත් බවයි.  මීට අමතරව කොළඹ - 11, 13 සහ 14 යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් නීතියෙන් තහනම් කරනු ලැබූ සැලේ පැකට් අලෙවි කළ වෙළෙඳ සැල් 5කට අවවාද ලිපි නිකුත් කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම අධිකාරියේ සභාපති, එස්. අමරසිංහ මහතා සඳහන් කර සිටියේ, වටලන තෙක් බලා නොසිට සමාජ වගකීමක් ලෙස සලකා පොලිතින්, ලන්ච්ෂීට් සහ සැෂේ පැකට් නිෂ්පාදනය සහ අලෙවිය සිදුකිරීමෙන් වළකින ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි. අංක 2034/34 දරන 2017  සැප්තැම්බර් මස 01 වැනිදා ගැසට් පත්‍රය මගින් දේශීය භාවිතය සඳහා පොලිතින් අමු ද්‍රව්‍යයක් වන ආහාර දවටන නිපදවීම, පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් කර ඇත. එසේම අංක 2211/51 දරන 2021 ජනවාරී මස 21 වැනිදා ගැසට් පත්‍රය මගින් ශුද්ධ පරීමාව මි.ලී.20ට/ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු පැකට්. ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කිරීම සඳහා හැර 2021 මාර්තු මස 31වැනිදා දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලදි.