fourth-covid-wave
අද බ්‍රහස්පතින්දා සවස තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා මරණ ගණනයි.
ඊයේ (04) දින තහවුරු කර ඇති  මරණ 82 කි. දැන් මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළගොස් ඇත.

දැනට කෙරෙන පීසීආර් ප්‍රමාණය අවම මට්ටමක පැවතියත් ඊට සාපේක්ෂව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම වැඩි බවත් මේ අනුව දැනට ඉතා ඉහළ අගයකින් කොරෝනා ආසාදිතයින් වාර්තාවන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අදහස් දක්වමින් පවසා තිබේ.
ඔහු පවසන්නේ වාර්තා ගතවන මරණ සැලකීමේදී සෑම පැයකටම 3 දෙනෙක් මියයන අවාසනාවන්ත තත්වයට දැන් ලංකාවේ කොරෝනා ඔඩු දුවා ඇති බවයි.


ඩෙල්ටා රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදිතයින් වාර්තාවී ඇතිප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට 4 වන රැල්ලක් මතුව ඇති බවත් ඔහු පවසයි.
මේ අතර සමස්තයක් ලෙස සලකා බැලීමේදී අද රටේ කොවිඩ් තත්ත්වය එතරම් සතුටුදායක නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මේ වනවිට සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු පැවසීය.

"පසුගිය සති දෙකේ පෙනිච්ච දෙයක් තමයි ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන් සහ මුඛ ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීමේ සිද්ධි නිසා. ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවයට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න."

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින්
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් එළැඹෙන සඳුදා (09) සිට ආරම්භ කිරීමට තීරණය කළ බවය.