is-agalega-island-in-mauritius-indian-military-base-in-indian-ocean


අප්‍රිකානු මහාද්වීපයට සමීපව මැඩගස්කරයට ආසන්නයේ පිහිටි. මුරුසි රාජ්‍යයට අයත් දූපතක ඉන්දියාව විසින් ඉදිකරන රහසිගත නාවික හමුදා කඳවුරක තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවුණු බව අල්ජසිරා පුවත් සේවය ඊයේ වාර්තා කර තිබුණි. 

චන්ද්‍රිකා ඡායාරූප, මූල්‍යමය දත්ත සහ ගොඩබිමෙන් ලැබුණු සාක්ෂි යනාදී කරුණු මගින් මෙම ඉදිකිරීම් පිළිබඳව ස්ථිරවම කරුණු හෙළිදරව් කරගැනීමට හැකි වුණු බවත් පුවත් සේවය පවසයි. මුරුසි රජයේ ප්‍රධාන දූපත් සිට කිලෝමීටර්1000ක් පමණ දුරින් පිහිටි Agalega නම් දූපතක මෙම කඳවුර ඉදිකරමින් සිටින බව සදහන් වෙයි. මෙම දූපත කිලෝමීටර් 12ක පමණ දිගකින් යුක්ත වෙයි. දැනටමත් මෙහි ගුවන් ධාවන පථයක් මෙන්ම නාවික ජැටියක්ද ඉදි කෙරෙමින් පවතින බව ඒ සම්බන්ධයෙන් ලැබුණු නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් පැහැදිලිවී තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් අනතුරුව එම ගුවන් ධාවන පථය ඉන්දියානු නාවික හමුදාව මගින් මෙම මුහුදු කලාපය තුළ සිදු කරන නිරීක්ෂණ චාරිකාවන්හිදී යොදා ගැනීමේ හැකියාවක් පවතින බව යුද හමුදා විශේෂඥයන්ගේ අදහස වී තිබේ.


ඉන්දියාව මෙලෙස මුරුසි දූපතක රහසිගත ගුවන් හමුදා කදවුරක් ඉදිකරන බවට පළමුවරට කට කතා පැතිර ගියේ 2018 වසරේදීය. එහෙත් මුරුසි රාජ්‍ය සහ ඉන්දියාව මෙම අදහස ප්‍රතික්ෂේප කර තිබුණි. එහිදී ඉන්දියාවේ මැදිහත්වීමත් ඉදිකිරීම් කිහිපයක් සිදු කරන බවත් ඒවා හමුදාමය භාවිතයන් වෙනුවෙන් නොව එම දූපත් වැසියන්ගේ ප්‍රයෝජන සදහා සිදු කරන ඉදිකිරීම් බවත් ඔවුන් පවසා තිබුණි.


වාර්තාවලට අනුව මෙම Agalega දූපත තුළ අද වනවිට 300කට ආසන්න පිරිසක් ජීවත් වෙයි. අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන ආකාරයට මෙම දූපත තුළ මේ වනවිට දැවැන්ත ජැටි දෙකක් සහ කිලෝමීටර් 3ක පමණ දිගකින් යුත් ගුවන් ධාවන පථයක්ද ඉදිකරමින් තිබේ. අද වනවිට එහි ඇත්තේ මීටර් 800ක් පමණ දිගකින් යුත් ගුවන් ධාවන පථයකි. එහි ගොඩබෑමට හැක්කේ මුරුසි රාජ්‍යයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කුඩා ගුවන් යානා පමණකි. එහෙත් අලුතින් ඉදිකරන මෙම ගුවන් ධාවන පථය ලොව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වන විශාල ගුවන් යානා සදහා යොදා ගන්නා ධාවන පථයකට සමානය. විශේෂයෙන්ම අද වනවිට ඉන්දියානු සාගරය රජ්‍යන් වෙත සිය භූ දේශපාලනික බලපෑම් පුළුල් කිරීම සදහා අතිශය වැදගත් ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ, ජාතික ආරක්ෂක විද්‍යාලයේ පර්යේෂක සැමුවෙල් බැෆීල්ඩ් අසීරා පුවත් සේවය වෙත පවසා තිබේ. "මෙම නිරිතදිග ඉන්දියානු සාගරික ප්‍රදේශය ඉන්දියාවට තමන්ගේ නොකා වෙත අවශ්‍ය ගුවන් යානා සහාය ලබා දීම වෙනුවෙන් වඩාත් වැදගත් වෙනවා.

ඒ වගේම විවිධ මෙහෙයුම් සඳහා ගුවන් යානා සහ නෞකා දියත් කිරිමේ ස්ථානයක් ලෙසත් මෙම ප්‍රදේශය යොදා ගැනීමට ඔවුන්ට හැකියි.” යනුවෙන් ඔහු පවසයි. අල්ජසීරා පුවත් සේවය මගින් රැස්කරගෙන ඇති මෙම කලාපය තුළ ආසන්න වසර කිහිපයේදී සිදුවුණු නෞකා ප්‍රවාහනය පිළිබද දත්ත අනුවය. ඉන්දියාවේ විවිධ වරායන්හි සිට Agalega වෙත ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැගත් නෞකා රැසක්ම ගොස් තිබෙනෙ බව අනාවරණය වී තිබේ. එසේම එම දූපත මතදී ලබා ගෙන ඇති ඡායාරූප දත්ත අනුවද ගෙවුණු වසර දෙකක කාලයේදී එහි තාවකාලිකව ඉදි කළ කූඩාරම් තුළ ඉදිකිරීම් සේවකයන් සිය ගණනක පමණ පිරිසක් රැදී සිටින බවත් හඳුනාගෙන ඇත.