web-site-blocked

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරි වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඊයේ (29) නියෝග කළාය. අනර්ථකාරි වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරිම්, එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 

මෙහිදී එම කොමිසමට නියම කළාය.අනර්ථකාරි වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.අනර්ථකාරි වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙද වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (29) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු  ඉදිරිපත් විය.මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රජීව් රවිනාත් යන අය ඊයේ (29 දින) බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර සිටි අතර ඔහු මෙම නඩුවේ 31 වැනි සැකකරු ලෙස නම් කරනු ලැබීය.

මෙම බාල වයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරිමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මන්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව ප්‍රධාන සැකකරු සිදුකළ මන්ද්‍රව්‍ය ජාවාරම හා අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව පරීක්ෂණ සිදුකරන බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය  නිරුවත් කොට ඇයගේ විවිධ ලිංගික දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඒවා විවිධ පුද්ගලයන්ට විකුණා එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මුදල් උපයාගෙන ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

බාල වයස්කාර දැරියගේ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝවක් නැරඹීම සඳහා මෙම සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් 5000 සිට රුපියල් 8000 දක්වා මුදලක් අයකර ගෙන ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ දුරකථන සම්බන්ධතා ඔස්සේ විමර්ශන සිදු කරමින් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම වින්දිත දැරිය ගණිකාවක වශයෙන් අධිකරණය කිසිසේත් නොසලකන බව කී මහේස්ත්‍රාත්වරිය මේ අපරාධය සම්බන්ධයෙන් වන පරික්ෂණ වහාම අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.

ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව. විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මූලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩි ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු වන මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම ප්‍රශ්නගත වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනකු සමිබන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.සෑම ඉරු දිනකම උදැසන 9.00ත් දහවල්12.00ත් අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

(නිමන්ති රණසිංහ)