mahawewa-incident

පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ මහවැව ප්‍රදේශයේදී ඊයේ (29දා) උදෑසන බස් රථයක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් කැබ් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි මනම්පිටිය  පොලීසිය පවසයි.   වැලිකන්ද කඩවතමඩුව පදිංචි ආර්.පී.ඩී. දිල්රුක්ෂිකා  උදයංගනී (41) සහ වැලිකන්ද බෝඅත්තේ පදිංචි කේ.පී.සී. නිර්මිණි (43) නමැත්තියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. කොළඹ සිට පුනානි දක්වා නිරෝධායනය කිරීමට පිරිසක් රැගෙන යමින් සිටි යුද හමුදාවට අයත් බස් රථයක් හා ඊට  ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.




අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය පවසයි. අනතුරට පත්වන විට කැබ් රථයේ 13දෙනෙකු ගමන් කර තිබෙන අතර ඔවුන් පොළොන්නරුව මහරෝහලේ පිරිසුදු කිරීම් අංශයේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ආර්.වීරසිංහ මහතා පැවසීය. යුද හමුදා බස් රථය අනතුරට පත්වන විට එහි සිටි නිරෝධායනට රැගෙන යමින් සිටි පිරිස වෙනත් යුද හමුදා බස් රථයකට මාරු කර පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කළ බවද වීරසිංහ මහතා සඳහන් කළේය.  මෙම අනතුරට හේතුව නොසැලිකිලිමත්ව හා අපරීක්ෂාකාරී  ලෙස රිය ධාවනය බවත් අනතුරට සම්බන්ධ රියැදුරන් ප්‍රශ්න  කිරීමට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලීසිය පවසයි.  මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ආර්.වීරසිංහ මහතා ඇතුළු රථවාහන අංශයට අයත් පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරති.


 -තුෂාර තෙන්නකෝන්-