මෙරට ගර්භණී මවුවරුන් සඳහා බෝ වන රෝග පිළිබඳ උපදේශන කමිටුව සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් අනුමත කර ඇත්තේ, "සයිනොෆාම්" කෝවිඩ් මදන එන්නත වන බවත්, ඒ අනුව වෙනත් කෝවිඩ් එන්නත් ගර්භණී මවුවරුන්ට ලබාදීමට කිසිදු අංශයක් කටයුතු නොකළ යුතු බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අවධාරණය කළේය. 



එහි සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා සඳහන් කර සිටියේ, අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥවරුන් විසින් සාකච්ඡා කර විධිමත්ව හා නිවැරදිව ගෙන ඇති එම තීරණය ක්‍රියාත්මක කිරීම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වගකීම වන බවයි. ගර්භණී මවුවරුන් සඳහා 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන කෝවිඩ් එන්නත් ලබාදීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ වන රෝග පිළිබඳ උපදේශන කමිටුව සහ විෂය පිළිබඳ විශේෂඥයන් විසින් ගෙන ඇති තීරණ නිසියාකාරව ඉටු නොකර අනවශ්‍ය දෑ සිදුකිරීමට, වගකිව යුතු ආයතන උත්සාහ දරන්නේ නම්, ඒ පිළිබඳ කනගාටුවට පත් වන බවත්, එසේම ඉන් ජනතාවද වැරදි වැටහීම් ඇති කර ගන්නා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


කෙසේ වුවද ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් නිසි පරිදි ක්‍රියාත්මක කර තිබෙන්නේ නම්, එළඹෙන අගෝස්තු මස වනවිටදී ශ්‍රී ලංකාව තුළ සිටින සියලු ගර්භණී මවුවරුන් එන්නත්කරණයට ලක් කර අවසන් විය යුතුව ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර මේ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

(නිදර්ශනී වික්‍රමසිංහ)