නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහරිමින් අපහාස කිරිම සම්බන්ධයෙන් 5දෙනකු ගතවු සතිය තුළ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගම්පහ, පිලියන්දල, පිටකෝට්ටේ, රාජගිරිය යන ප්‍රදේශවලදී බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළේය.


මුහුණ පොතේ වෙනත් අයකුගේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී අසභ්‍ය ඡායාරූප එයට ඇතුළත් කිරීම,  පෙම්වතුන්ව සිටියදී ලබාගත් ඡායාරූප ඔවුන් අමනාප වීමෙන් පසු අන්තර්ජාලයට මුදා හැරීම, ඡායාරූප වෙනස් කර නිරුවත් ඡායාරූප සකස් කිරීම, ආදී වැරදි  සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට  ගෙන තිබිණි.  මේ ආකාරයේ තවත් පැමිණිලි රැසක් පරිගණක අපරාධ විමර්ශනය වෙත ලැබී ඇති බවත්, එම පැමිණිලිවලට අදාලව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා පැවසීය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන කරන බවද ඔහු පැවසීය.