panadura-incident

පානදුර මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 40 හැවිරිදි පුද්ගලයකු ඊයේ (28) අලුයම එයින් පැන ගොස් පානදුර නගරය පුරා සැරිසැරිම හේතුවෙන් ජනතාව දැඩි භීතියට පත් වූහ.   

පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් මොරමුදලි මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳරුවන් රාජපක්ෂ යන මහත්වරුන් වහා ක්‍රියාත්මක වී එම පුද්ගලයා පිටුපස ලුහුබැඳ ඇත. එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අණ නොතකා අදාළ ආසාදිතයා පානදුර-මරදාන දුම්රියට නැග පලා යාමට උත්සාහ කර ඇත.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පානදුර දකුණ පොලිසියේ සැරයන් සුනිල් ශාන්ත මහතා එක්ව දැඩි ආයාසයක් යොදවා රෝගියා දුම්රියෙන් බස්සවා පානදුර සාගර මාවත ප්‍රදේශයට රැගෙන ආහ.  පසුව නිලධාරීහු කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳව 1990 සුවසැරිය වෙත දැන්වීමෙන් අනතුරුව නැවත පානදුර මූලික රෝහල වෙත භාරදීමට කටයුතු කළහ. පැනගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා එහා මෙහා ගිය දුම්රිය මැදිරිය විෂබීජහරණයට ලක්කළ බවත්, ඒ  හේතුවෙන් දුම්රිය ගමනාගමනය පැය භාගයක් පමණ ප්‍රමාද වූ බවත් පානදුර  දකුණ පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.


  -සුමිත් ප්‍රේමතිලක-