dolar-power-sri-lanka

සූර්ය බල හා සුළං බල ආදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් විදුලිය නිෂ්පාදනය කර ගැනීමට අතිවිශාල මුදලක් වැයවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.මේ නිසා 2030 වසර වනවිට මෙම බලශක්ති ප්‍රභවයන් තුළින් රටේ අවශ්‍යතාවෙන් 70%ක් නිෂ්පාදනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.



මෙම වැඩපිළිවෙළ නිසා විදුලිබල මණ්ඩලය විසින් සකස් කළ 2022 වසරේ සිට 2041 වසර දක්වා වූ දිගුකාලීන විදුලි සැලැස්මටත් බාධා සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.මෙම සැලැස්ම තුළින් 2030 වසර වනවිට විදුලි අවශ්‍යතාවෙන් 53%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.සූර්ය බල හා සුළං බල වැනි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් විදුලිය නිෂ්පාදනය කර ගැනීමට සැලසුම් කළ බොහෝ රටවල් එම අදහස අතහැර දමා තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ අදාළ කටයුතු සඳහා අතිවිශාල මුදලක් වැයවීම බවත් සෞම්‍ය කුමාර වඩුගේ මහතා පවසා සිටියේය.

අප රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක්ව තිබෙන බැවින් අතිවිශාල මුදලක් වැය කර මෙවැනි කටයුතු කිරීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය. සූර්ය බල සුළං බල වැනි ප්‍රභවයන් තුළින් පුනර්ජනනීය බලශක්ති ක්‍රම මගින් විදුලිය නිෂ්පාදනය නොවුණත් විදුලි බල මණ්ඩල සැලැස්මට අනුව 2030 පමණ වනවිට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 53%ක් නිෂ්පාදනය වන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් බවද සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.මේ යටත්තේ LNG බලාගාර ඇති කිරීම, දැනට පවතින ඩීසල් බලාගාර LNG ක්‍රමවේදයට පරිවර්තනය කිරීම හා නොරොච්චෝලේ බලාගාරයේ හතරවැනි අදියර ක්‍රියාත්මක කිරීම සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)