kurunegala-incident

ප්‍රේත ආත්මයක් වැලඳී තිබුණු තරුණයකුගේ ප්‍රේත ආත්මය ඉවත් කිරීමට ගොස් ප්‍රේතයා පහරදීමෙන්
සාත්තුවට පැමිණි කට්ටඩියා රෝහල් ගත කිරීමේ පුවතක් කුරුණෑගලින් වාර්තාවේ.

සිද්ධිය අනාවරණය වන ආකාරයට මෙසේය.


ගැමි පෙදෙසක නිවහනක වාසය කරන්නන් නිතර නිතර රෝගාබාධාවලට ලක්ව තිබේ. රෝහල් කරා ගොස් ප්‍රතිකාර කළත් ඒවා නිට්ටාවට සුවවන්නේද නැත. මේ නිසා
නිවෙසේ ගෘහ මූලිකයා දැඩි මානසික තත්ත්වයෙන් පසුවන මොහොතක ඔහුට හමු වූ හිතවතකුගෙන් යම් සහනයක්
ලැබිණි. ඒ සක්සුදක් සේ සාස්තර කියන දේවාලයකින් මෙම කරදරවලට විසඳුමක් ලැබෙන බවට හමු වූ
හිතවතා පැවැසීම නිසාය.

නියමිත කෙම්මුර දිනයක අවැසි පලතුරු වට්ටියක් ද රැගෙන නිවෙස ගැන බලන්නට නිවෙස් හිමියා අදාළ
දේවාලය කරා ගියේය. පෝලීමේ රැඳී සිට තම වාරය පැමිණි පසු බුලත් අත හා පලතුරු වට්ටිය සමඟින්
පඬුරු ආදිය තබා ඔහු සාස්තරය අසන්නට විය.

නිවෙසට මියගිය අයකුගේ බැල්මක් නිසා නිවැසියන් වරින් වර රෝගාබාධවලට ලක්වන බවත් මේ නිසා දුකසේ උපයන සියල්ල නිකරුණේ විනාශ වන බවත් දෙවොලේ දෙවියා පවසා තිබේ. එම ප්‍රේත ආත්මය
නිවෙසේ මන්ද මානසික තත්ත්වයෙන් පසුවන බාල තරුණ වියේ පසුවන පුතාට ආරූඪ වී සිටින බවටද හෙළි
කරන ලදී. එය ඉවත් කිරීමට අවැසි සාත්තුවක් නිවෙසේ සූදානම් කළ යුතු බවට උපදෙස් ලැබිණි. ඒ
කෙරෙහි විශ්වාසයක් තැබූ නිවෙස් හිමියා කඩිනමින් එය ඉවත් කර ගැනීමට අවශ්‍ය සාත්තුව සිදු කිරීමට
කටයුතු කළේය.

ඒ අනුව දෙවොලේ කණ්ඩායම අදාළ නිවෙසට නියමිත දින සවස් යාමයේ පැමිණියහ. බලි
තොවිල් මැද සාත්තුව සිදු කරන අතරවාරයේ නිවෙසේ රැඳී සිටි මන්ද මානසික තරුණයා පලා ගියේය. ඔහු අල්ලාගෙන එන්නට පිරිස ගියත් ඔහු නිවෙසට නොපැමිණෙන බව වටහා ගත් කට්ටඩියා ආරූඪයෙන්ම ඔහු රැඳී සිටින ස්ථානය කරා ගියේය. එතැට ගොස් තරුණයා අල්ලාගෙන හිස මත දෙහි ගෙඩි තබා කන්නලව් කරමින් දෙහි කපන්නට සූදානම් වූවා පමණි. තරුණයා ආරූඪව සිටි දෙවියාට වැරෙන් පහර දුන්නේය. ඔහු අත දෙහි කපන්නට තිබූ ගිරය විසිවී ගොස් අෑතට වැටිණි. පහරකෑමට ලක් වූ කට්ටඩියාටද අමාරුය.

තරුණයා හූ කියමින් එතැනින්ද පලා ගියේය. ආරූඪව සිටි කට්ටඩියාගේ දැඩි අපහසුතා හමුවේ පසුවේ. සාත්තුව  කන්නලව්ව පසෙක තබා රැස්ව සිටි පිරිස කට්ටඩියා වහා රෝහල්ගත කළේය. දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු ඉන් නික්ම ගොස් ඇතත් අතුරුදන් වූ ගිරය තවමත් සොයාගන්නත් නැතිලු.

පොල්පිතිගම _ නන්දන කැලේගම