Several international airlines are set to launch flights to Sri Lanka

ශ්‍රී ලංකාව සමඟ නව ගුවන් ගමන් ආරම්භ කිරීමට අදාළව ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් සාකච්ඡා
අරඹා තිබේ.

ඒ අනුව දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවාවල
නිරත වන අතර නව ගුවන් සේවා හතරක් අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇත.



එහිදී  එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සහ මැදපෙරදිග ගුවන් සමාගමක් ශ්‍රී ලංකාව සමඟ කඩිනමින්
ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සඳහා එකඟත්වය පළකර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද ආවරණය වන පරිදි ගුවන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කොට තිබේ.

මේ අතර ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ සමඟ ගුවන්ගමන් වාර ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා පවත්වා ඇත. මීට අමතරව සිනමන් ගුවන් සේවය ශ්‍රී ලංකාව පුරා විහිදී තිබෙන අභ්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ ආවරණය වන පරිදි ගුවන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කොට තිබේ.

නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව ගුවන් ගමන් ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට නංවාලීම තුළින්
ධනාත්මක තරගකාරීත්වයක් ඇති කර ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවල මගී ධාරිතාව  ඉහළ නැංවීමට
පියවර ගැනෙන අතර දිවයිනේ සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම සඳහා ලෝකය  පුරා ගෙනයන
සංචාරක ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ගුවන් ගමන් වාර ප්‍රමාණයද ඉහළ නැංවීමට
අපේක්ෂිත වේ.

ලෝකය පුරා රටවල් සමඟ ගුවන් ගමන් සේවා ව්‍යාප්ත කිරීමත් සමඟම දිවයිනට ඉදිරි කාලය තුළ ඇදී එන
සංචාරකයන් ප්‍රමාණය දිනකට දහස ඉක්මවනු ඇති බවටද රජය අපේක්ෂා කරනු ඇත.

අනුරාධා හේරත්