ලෝකයේ වැඩිම ජනගහනය වාසය කරන චීනය,ඉන්දියාව, ඇමරිකාව ළඟට සිව්වැනි තැන සිටින ඉන්දුනීසියාව මේවනවිට කොරෝනා වසංගතය හමුවේ භයානක ව්‍යසනයක සලකුණු පෙන්නුම් කර තිබෙයි. 
මිලියන 273 ක් ජනගහණය වාසය කරන ඉන්දුනීසියාව ඊයේ (13) දත්ත අනුව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන (47899) වාර්තා කර ඇති අතර මරණ ලැයිස්තුවේද දෙවැනි තැන ගත්තේ ඊයේ මරණ 864 ක් වාර්තා කරමිනි.
රටේ අර්බුදය උත්සන්න වෙද්දී එරට ජනාධිපති ජොකොවි ජනතා අප්‍රසාදයට ලක්ව ඇති අතර ‘ජකර්තා පෝස්ට්‘ පුවත්පත වාර්තා කරන්නේ මහජන විශ්වාසය පළුදුවීමෙන් පසු ඔහු රටට පිහිට පතා ආගමික විශ්වාසයන් සරණයමින් නාටකයක් රඟපාන බවයි. ජෝකෝ නමින් රට වැසියන් නම්කර හඳුන්වන ජනාධිපති ජෝකොවි පසුගිය ඉරිදා බටහිර ජාවා හි බොගෝර් මාලිගයේ දී නිවසේ සිට යාඥා කරමු (#PrayFromHome) නමින් අන්තර් ආගමික යාඥාවකට සම්බන්ධවූ අතර ඔහුගේ නිෂ්ක්‍රීය ක්‍රියා පිළිවෙත රටපුරා විවේචනයන්ට ලක්වෙමින් පවතී.
ජනපතිවරයා පවසා ඇත්තේ පාලකයා හැටියට තමා ගත් පියවරයන්ගේ වරදක් නැති බවත් ජනතාව මෙය බෝකරගත් බවත්ය.


COVID-19 වසංගතය රටපුරා හැසිරවීමේ සම්පූර්ණ වගකීම භාර ගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම රට වැසියන්ගේ කෝපයට හේතුවී ඇත.
මහජන සෞඛ්‍ය සඳහා වූ සම්මේලනය නමින් සිවිල් සමාජ කණ්ඩායම් 24 ක සන්ධානයක් විසින් ඉන්දුනීසියානු රජයට මෑතකදී විවෘත ලිපියක් මගින් දෝෂාරෝපණ එල්ල කර තිබුණි. ජනපතිවරයා අර්බුදය කළමනාකරණය කිරීමට අපොහොසත් වීම පිළිබඳව මහජනතාවගෙන් සමාව අයැදිය යුතු බවත්, එයින් පීඩාවට පත් වූවන්ට ස්ථිර සහය ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.
“දේශපාලන ප්‍රතිරූපය ගැන වරක් අමතක කරන්න, වසංගතය හැසිරවීමට අවධානය යොමු කරන්න,” ලිපිය තුළ සටහන්ව තිබේ.
කොරෝනා රෝගීන් බහුලවීමෙන් ඉන්දුනීසියාවේ රෝහල් අධික තදබදයකට ලක්ව ඇති අතර සෞඛ්‍ය සේවකයින් ඔක්සිජන් සැපයුම අඩුවීම පිළිබඳ මැසිවිලි නගමින් සිටී. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම මෑත සතිවල රෝගීන්ගේ වර්ධනය වේගවත් කර තිබෙන අතර සංචලනය පාලනයට ජනපති උනන්දු නොවීම නිසා මේ දේවල් සිද්ධවූ බව රටවැසියන් චෝදනා කර තිබේ.රජයේ ක්‍රියාකලාපය හෙළා දකිමින් අන්තර්ජාල පෙත්සමක්ද මේ මස මුලදී සංසරණය විය.“අපට වැඩි කාලයක් නොමැත. සෑම දිනකම ඉන්දුනීසියානු ජනතාව මිය යන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් කිසිදු හදිසියක් හෝ අර්බුදයක් නොමැති වීම හේතුවෙනි. ”පෙත්සමේ සඳහන් කර ඇත.
වත්මන් ඉන්දුනීසියාවේ නිර්මාතෘ සුකර්නෝගේ දියණිය වන රච්මාවතී සොකර්නොපුත්‍රි ඇතුළු ප්‍රමුඛ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ජීවිත මේවනවිටත් වසංගතය මගින් බිලිගෙන තිබේ.


ජූලි 5 වන දින යෝගියාකාර්තා හි විශාලතම රෝහල වන වෛද්‍ය සර්ඩ්ජිටෝ රෝහල ඔක්සිජන් නොමැතිව සියගණනක් මියගියහ.ඉරිදා දිනයේදී රට තුළ නව රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 1000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය. රැල්ල ගැන ලෝකයම කතාකරන්නට වූයේ එදින පටන්ය.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රටේ කරදරකාරී දේශපාලනයක් පැවති නිසා රජය කෙරෙහි ජනතාවට කිසිදු විශ්වාසයක් දැන් නැති බවයි. වසංගතය පාලනයට මැදිහත්කරුවෙකු සොයාගන්නට බැරිව ඇතැයිද රට අරාජක ස්වරූපයක් පෙන්නුම් කරන බවද වාර්තාවල දැක්වේ.
 



යාඥා කරන ජනපති

පැය24ම මරණ අවසන් කටයුතු

ශෝකයට පත් ඥාතීන්