වසර 88ක සිරදඬුවමකට නියමවී බන්ධනාගාරගතව සිටිද්දී ජනධිපති සමාව ලැබ නිදහස්වී පැමිණ මාස 4කට පසුව සිය අනියම් සැක සමග එක්ව ඊසි කැෂ් ක්‍රමයට හෙරොයින් අලවිකරමින් සිටි කාන්තාවක හා එම අනියම් සැමියා අනුරාධපුර, රස්නායකපුරදී පෙරේදා (02) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර හා දූෂණ මර්දන ඒකකය පවසයි. හෙරොයින් ග්‍රෑම් 12ක් ද මොවුන් ළඟ තිබී අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක හා ඇගේ අනියම් ස්වාමිපුරුෂයා බව කියන වයස අවුරුදු 40ක තැනැත්තෙකි. අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.



සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම කාන්තාව හා ඇගේ නීත්‍යනුකූල සැමියා ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම, මත්ද්‍රව්‍ය අලෙවිය ආදී දූෂණ ක්‍රියා සඳහා වරදකරුවන් වීම නිසා වසර 88ක සිරදඬුවම්  විඳිමින් සිට ඇත. එම සිරදඬුවම වසර 13ක් ගෙවා දැමීමෙන් පසු මීට මාස හතර හමාරකට පමණ පෙර එම කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබිණි.


 එහෙත් වෙනත් වැරැදි සඳහා මෙම කාන්තාව විටින් විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබූ අතර, අනියම් සැමියා හඳුනාගෙන ඇත්තේ එම නඩුහබ සඳහා පැමිණි අවස්ථාවලදීය. ඒ අනුව, දෙදෙනා අනුරාධපුරයට පැමිණ පොතානේගම ප්‍රදේශයෙන් නිවෙසක් කුලියට ගෙන හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, මීට දින තුනකට පෙර එම ප්‍රදේශය අතහැර අනුරාධපුර නගරයට ආසන්න රත්නායකපුර ප්‍රදේශයෙන් නිවෙසක් කුලියට ගෙන ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.  මොවුන් දෙදෙනා මාස හතර හමාරකට අධික කාලයක් අනුරාධපුර හා ඒ අවට ප්‍රදේශවලට ඊසි කෑම ක්‍රමය යටතේ හෙරොයින් අලෙවි කර ඇති බව ද පොලිසිය පවසයි.

මෙම ජාවාරම පිළිබඳව තොරතුරු හෙළි කරගත් අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය, මෙම සැකකරුවන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.  අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකාර කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 900ක් ද සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 8 මිලි ග්‍රෑම් 630ක් ද තිබූ බව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.ඒ.ඒ.එස්. අලුගෙදර මහතා පැවැසීය.

-දයාරත්න ඇඹෝගම-