gas-issue-1977

රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිලට වෙළෙඳ පොළ තුළ ගෑස් සිලින්ඩර නොමැති නම් සහ ඒවායෙහි බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැති නම් 1977 යන දුරකථන අංකය හරහා වහා දැනුදෙන ලෙස පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.



රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5 සහ ලීටර් 18 (කිලෝග්‍රෑම් 9.6) එල්.පී.පී. සිලින්ඩර වෙළෙඳ පොළට මුදාහැරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහතික වී ඇති බවයි.එසේම අදාළ සියලු අලෙවිකරුවන්ට නිෂ්පාදන අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිල ගණන් දැනුම්දී ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා විසින් තහවුරු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය.ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් පසුගිය 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය කටයුතු කරන ලදි.

ඒ අනුව එල්.පී.ජී. අඩංගු ලීටර් 18ක (කිලෝග්‍රෑම් 9.6) ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ප්‍රවාහන පිරිවැය සලකා බලා දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන් වෙනස් කිරීමේ හැකියාවද ලබාදී ඇත.ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් බවට නියම කර තිබේ. කෙසේ වුවද ප්‍රවාහන පිරිවැයද එකතු කර ගහට් ගෑස් සිලින්ඩරය අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රුපියල් 1,259ක් ලෙස දක්වා ඇති අතර, එම මිලට අලෙවි කළ හැක්කේ යාපනය දිස්ත්‍රික්කය තුළ පමණි.

(නිදර්ශනී වික්‍රමසිංහ)