cash transactions due to counterfeit notes - a warning

ව්‍යාජ ලෙස සකස් කළ රුපියල් දහසේ හා පන්දහසේ මුදල් නෝට්ටු භාවිත කිරීම පිළිබඳ නැවත වර්තා වන නිසා මුදල් ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.  මුදල් ගනුදෙනු කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කළ මුදල් නෝට්ටු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, සෑම විටම මුදල් නෝට්ටුවේ සඳහන් වී තිබෙන දිය සලකුණ පිළිබඳ හා මැද පිහිටි කළු දාරය පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.



සැකකටයුතු නෝට්ටුවක් ඔබ සතු වුවහොත් එය නැවත ගනුදෙනු නොකරන ලෙසත්, වහාම එම මුදල් නෝට්ටුව ළඟම පොලීසියට භාරදෙන ලෙසත් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම ව්‍යාජ ලෙස සකස් කළ රුපියල් දහසේ නෝට්ටුවකින් ගනුදෙනු කිරීමට ගිය පුද්ගලයෙකු කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවද රෝහණ මහතා සඳහන් කළේය.

වෙළෙඳ සැල් හිමියෙකුට අදාළ නෝට්ටුව ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී වෙළෙඳ සැල් හිමියාට සැකසිතී ඒ පිළිබඳ පොලීසියට දන්වා තිබෙන බවත්, ඉන්පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ පරික්‍ෂ කිරීමේදී ඔහු සතුව තිබී තවත් රුපියල් දහසේ නෝට්ටු මුද්‍රණයට යොදාගත් ප්‍රින්ටරයක් සොයාගෙන තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)