
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ විභාග කටයුතු විභාග දෙපාර්තමේන්තුව මගින් පොදු දිනයකදී පැවැත්වීමට පියවර ගනිමින් සිටින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ඊයේ (13 වැනිදා) පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මගින් මේ වන විට සිදුකරන මෙම විභාග කටයුතු කඩින් කඩට සිදුවීමත් ඒ පිළිබඳ නොයෙකුත් විවේචන එල්ල වීමත් මත මෙම පියවර ගන්නා බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෙනුවෙන් සතිපතා පවත්වන විභාග කටයුතු මාසයකට වරක් හෝ දිවයින පුරාම එක් දිනකදී පැවැත්වීමට හැකිවනු ඇතැයි හෙතෙම කියයි.
මෙම විභාග ප්‍රශ්න පත්‍රය ගැනද බොහෝ විවේචන එල්ල වී තිබෙන බවත් ප්‍රශ්න පත්‍රයේද වෙනස්කම් කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් කීය.
මීට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා නාරාහේන්පිය කාර්යාලය මගින් සේවා සපයනු ලබන කල්තියා දින වේලා වෙන්කරගැනීමේ ක්‍රමවේදය ලබන අගෝස්තු මාසයේ සිට සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙත හඳුන්වාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා වන තාක්ෂණික සහාය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබාදෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
එෆ්. අස්ලම්
Comments
Post a Comment
Your comment will be visible after approval