සෙල්ලම් බඩු තුළ මත්ද්‍රව්‍ය සගවා, ඒවා ත්‍යාග පාර්සල් යවන මුවාවෙන් කුරියර් සේවා මගින් අවශ්‍ය පුද්ගලයන්ට හා ප්‍රදේශවලට බෙදාහැරීමේ ජාවාරමක යෙදුණු ''කුඩු නෝනි'' නමැති කාන්තාවක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ඊයේ(03) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,



ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. මත්කුඩු පැකට් 21ක් ඒ ආකාරයට බෝනික්කෙක් තුළ සඟවා අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුට යවා තිබියදී බෝනික්කා ද සමග ඔහු ඊයේ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවැසීය. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පදිංචි මෙමසැකකාර කාන්තාව මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක බවත්, “කුඩු නෝනි" නමින්  හැඳින්වෙන 49 හැවිරිදි මෙම සැකකාරියගේ කඩුවෙල පිහිටි නිවෙසේ තිබී හෙරොයින් ග්‍රෑම් 56කට අධික ප්‍රමාණයක් ඊයේ අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.



කොම්පඤ්ඤවීදියේ කුඩු නෝනි නවගමුවේ පිහිටි මෙම තෙමහල් නිවෙස මාසයකට රුපියල් 35,000ක පමණ මුදලකට කුලී පදනම මත ලබාගෙන, එම නිවෙසේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බව කියති. සැකකාර කුඩු නෝනිගේ මන්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටියේ යැයි පැවසෙන  පුද්ගලයන් දෙදෙනෙක් ද හෙරොයින් පැකට් 10ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොම්පඤ්ඤවීදියේ කුඩු නෝනි නමැති මෙම කාන්තාව මීට පෙර ද හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් තැනැත්තියක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. සැකකාරිය මේ ආකාරයට තෑගි පාර්සල් යවන මුවාවෙන් රට පුරා මත්කුඩු බෙදාහැර ඇති බවට පොලිසිය සැක කරයි. අනුරාධපුරයේ පදිංචි 38 හැවිරිදි මෙම සැකකරු කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යන අයෙකි.අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරික්ෂණ සිදු කරයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )