basil-gi-pipe-court

2015 ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 31/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජප්පක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යත්දැයි පිළිබද නීතිපතිවරයාගේ ස්ථාවරය එළඹෙන සැප්තැම්බර් 01 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඊයේ (19)දා නියම කළේය. 

මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේදැයි සලකා බලන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ නීතිඥවරු ඉල්ලීමක් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට නීතිපතිවරයා සූදානම් බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන සිල්වා මහතා කළ දැනුම්දීමක් සලකා බැලූ විනිසුරුවරයා මෙලෙස නියම කළේය.

2015 ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට ඛෙදා හැර රජයට රුපියල් කෝටි 31/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 27වැනිදා සිට විභාග කිරීමට මීට පෙර දින කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීරණය කර තිබූ අතර, විත්තිකරුවන්ට ලබාදිය යුතු ලේඛන ඔවුන්ට නිසි පරිදි ලබාදී ඇද්දැයි බැලීම සදහා මෙම නඩුව ඊයේ (19දා) කැඳවනු ලැබීය.

2014 වසරේ ඔක්තෝබර් මස 31වැනිදාත්, දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ ජනාධිපතිවරණිය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා පී.අයි. යකඩ බට බෙදාහැර රට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටත් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. මෙලෙස චෝදනා ලැබ සිටින් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන සිල්වා මහතා අධිකරණය අමතමින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යැයිදැයි සලකා බලන ලෙස අමාත්‍ය බැසිල් රාජප්පක්‍ෂ මහතාගේ නීතිඥවරු නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දැනුම් දුන්නේය.

ඒ අනුව අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ නීතිඥවරු කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නීතිපතිවරයා සූදානම් යැයි දැනුදුන් සුදර්ශන සිල්වා මහතා නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන්නේ යැයි ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පැමිණිල්ල යළි කැඳවන සැප්තැම්බර් මස පළමුවැනිදා නඩුව තවදුරටත් පවත්වාගෙන යැම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන්නැයි දැනුම් දුන්නේය.

(බුද්ධිමාල් රුබේරු)-