Theldeniye-medhananda

දේවාලයක් හිමි කාන්තාවකගේ 13 වියැති දියණියක කෙරෙහි ආසක්තවී පිරිසක් සමග එක්ව එම දැරියව පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් රාජගිරිය ප්‍රදේශයේ පන්සලක හිමි නමක් ඇතුළු සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන මෙකී දහතුන් හැවිරිදි දැරිය රවටා පැහැර ගෙන ගොස් නිවාස දෙකක රඳවා ගෙන සිටි බවත් ඇයට එහිදී අතවර කර ඇති බවටත් ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ පන්සලක වාසය කරන තෙල්දෙණියේ මේධානන්ද හිමි, ලියනගේ ධම්මික ජයලත්, පී.ඩී. සුමිත් සුසන්ත කුලරත්න හා ඒ.ඒ. ජානක සංජීව යන නමැත්තන් මෙම සිද්ධිය නිසා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

වින්දිත දැරියගේ මව වේයන්ගොඩ පොලිස් වසමේ දේවාලයක් පවත්වා ගෙන යන අතර පළවෙනි සැකකාර හිමි නම නිතර දේවාලයට පැමිණෙන්නෙකු වූ අතර දැරිය හා මිතුරු වීමට වරින්වර තෑගි බෝග ලබාදුන් බව කියැවේ.

 පසුගිය මැයි මස 21 වැනිදා ඇයට පාර්සලයක් ලබාදීම සඳහා තමන් දේවාලය ආසන්නට ආවත් දේවාලයට එන්නට බැරි බවත් අම්මට හොරෙන් ආවොත් එය දියහැකි බවත් පණිවිඩයක් තබා ඇත. අසල අන්නාසි වත්තකට පැමිණෙන ලෙස හිමි නම දැනුම්දී ඇති අතර මීට පෙර හිමි නම සමග තිබුණ මිතුදම නිසා තෑගි ලබාගන්නට ඇති ආසාවට දැරිය කියූ පරිදි එම ස්ථානයට ගොස් තිබේ.



එම අවස්ථාවේදී හිමිනම තවත් කාන්තාවක් ඇතුළු පිරිසක් සමග මෝටර් රථයක් නතර කර එම ස්ථානයේ සිට ඇති අතර  තෑග්ග ගන්නට නම් රථයට පැමිණිය යුතු බවට රැවටිලි බස් පවසා ඇයව නංවාගෙන පළාගොස් තිබේ.

දැරිය පැහැර ගෙන රතුපස්වල ප්‍රදේශයේ නිවසකටත් එතැනින් වැලිවේරිය ප්‍රදේශයේ නිවසකටත් ගෙන ගොස් රඳවා ගෙන තිබෙන අතර, දැරිය පැහැර ගෙන යාමෙන් පසුව මව ඒ ගැන සොයා බලා හිමිනම එය සිදුකරන්නට ඇති බවට සැක සිතී වේයන්ගොඩ පොලිසියට එම සැකය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම දිනවල තමා ගැන පැමිණිලි කිරීම සම්බන්ධයෙන් දැරියගේ මවට හිමි නම විසින් මරණ තර්ජන එල්ල කොට තිබූ බවද වාර්තාවේ.

ජාතික ළමාරක්ෂක අධිකාරිට ලද දුරකථන ඇමතුමකට අනුව පක්ෂණ පවත්වා සැකකරුවන් සිවුදෙනාත් දැරිය පැහැර ගෙන යාමට යොදා ගන්නා ලද මෝටර් රථ දෙකකුත් අත්අඩංගුවට ගැනීමට පසුව හැකිවී තිබේ.

විත්තියේ නීතිඥවරුන් සැකකරුවන් සිවුදෙනා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකාර තෙල්දෙණියේ මේධානන්ද හිමි ඇතුළු සැකකරුවන් සිවුදෙනා අගෝස්තු මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (19දා) නියෝග කළාය. 

දැරියට සිදුවූ අතවර සම්බන්ධ වාර්තාවක්ද එදින අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.