avanthi-devi-case

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන්ට මනෝ උපදේශනය ලබා දෙන මුවාවෙන් සහ යෝග ව්‍යායාම කියා දෙන මුවාවෙන් විවිධ ලිංගික අතවර සිදු කිරීමේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එම ළමා නිවාසයේ දැරියක් නිවසකට රැගෙන ගොස් ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු ආරක්ෂක කළමනාකරුට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා පත්‍ර 21 ක් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබේ. 

ඒ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ හමුවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමිනි. මෙලෙස චෝදනා පත්‍ර 21 ක් ඉදිරිපත් කර ඇත්තේ 46 හැවිරිදි නලින්ද කැලුම් සේනානායක නමැති යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු ආරක්ෂක කළමනාකරුට එරෙහිවයි.

නිවාසයේ රැකවරණ ලබමින් සිටින දැරියන්ට වරින් වර ලිංගික අතවර සිදු කළ බවට වන චෝදනා 10 ක් ද, දැරියකට ස්ත්‍රි දූෂණයක් සිදු කළ බවට වන චෝදනා 1 ක්ද, එම දැරියන්ට ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බවට වන චෝදනා 5 ක්ද, දැරියන් කෲරත්වයට පත් කිරීමට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවට අාධාර අනුබල දුන් බවට වන චෝදනා 5 ක්ද මෙම සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ එල්ල වී තිබේ.

අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇති මෙම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පවත්වා ඇති විමර්ශනවල උදෘත අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත ඉදිරියේදී නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යවා සැකකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.

තිසල් තෙන්නකෝන් - සාලියපුර