Two lives lost in Galle due to string of fallen kite
ඊයේ රාත්‍රී ගාල්ල රත්ගමදී සිදුවූ අවාසනාවන්ත යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු 35ක් වූ දෙදරු මවක හා වයස අවුරුදු  එකහමාරේ සිඟිති දරුවෙකු මරණයට පත්ව තිබේ.
අනතුර සිදුව ඇත්තේ රාත්‍රී 8.20 ට පමණය. මෙම අවස්ථාවේ එකම පවුලේ සැමියා, බිරිඳ සහ පුතුන් දෙදෙනා  යතුරුපැදියක නැගී ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ගමන් කරමින් සිට තිබේ.


ගාල්ල රත්ගම පිටිවැල්ල පිංතාලිය හන්දිය නාවික හමුදාකදවුර අසල දී ඔවුන් ගමන් ගත් මාර්ගය හරහා කඩාවැටී තිබුණ සරුංගලයක නයිලෝන් නූලක් තිබී ඇති අතර යතුරු පැදිය පදවමින් සිටි සැමියාට එම නූල දර්ශනය වී ඇත. ඔහුට එය මගහැර යාමට හැකියාව නොතිබූ අතර යතුරුපැදිය තරමක් වේගය බාලකර එය අතින් ඇද පැත්තකට කරන්නට උත්සාහ කර තිබේ.
නමුත් යතුරුපැදියේ හතරදෙනෙකු ගමන් කරමින් සිටි බැවින් දෝ ඔහු නූල මෑත් කරද්දී එය ඔවුන්ගේ සිරුරුවල පැටලී ඇති අතර නයිලෝන් නූල නිසා යතුරු පැදියේ සමබරතාව ගිලහී ගොස් තිබේ. මෙම අවස්ථාවේ පැවති වේගය නිසා යතුරුපැදිය පැදවූ පුද්ගලයාට එය පාලනය කරගන්නට බැරිව පැත්තකට ධාවනය වූ බව දුටුවන් වාර්තා කර තිබේ.
එම අවස්ථාවේ යතුරුපැදිය වේගයෙන්  මාර්ගයේ අනෙක් මංතීරුවට පෙරළීගොස් තිබෙන අතර ගාල්ල දෙසට ගමන් ගත් කාර් රථයකද ගැටී තිබේ.
කාර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් පිරිස අනතුරට පත්ව තිබේ.
 එකම පවුලේ සැමියා, බිරිඳ සහ පුතුන් දෙදෙනා අනතුරට පත්ව බරපතල තුවාල ලැබූ අතර ප්‍රදේශවාසීන් ගිලන් රථ ගෙන්වා කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.


අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් සුදුසිංහ ලියනගේ මේනකා ප්‍රසාදිනි නමැති වයස අවුරුදු 35ක් වූ දෙදරු මව රෝහල වෙත ඇතුලත් කරන විටත් මියගොස් ඇති අතර ඇයගේ තුරුලේ සිටි හීන්දෙනියගේ අනුක රන්දුල් නමැති වයස අවුරුදු 1 1/2 , වු සිගිත්තාද රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
යතුරු පැදිය පදවා ඇත්තේ අවුරුදු 35 වූ පැදිකරු කොග්ගල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන සැරයන් වරයෙකි. ඔහු සහ වයස පහමාරේ අනෙක් පුතු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ගිංතොටගේ වත්ත, පියදිගම, ගිංතොට ලිපිනයේ ඔවුන් පදිංචිව සිටී.

මියගිය මවගේ හා බිලිඳාගේ මෘත දේහයන් මරණ පරික්ෂණ කටයුතු සිදුකරන තෙක් කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කර ඇත.