Customers embarrassed by Laugfs gas shutdown

ගෑස් මිල සංශෝධනය සඳහා රජය සමගින් මෙතෙක් පැවැති සාකච්ඡාවන්හි අවසන් එකඟතාවක් මෙතෙක් හිමි නොවූ නිසා ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම දේශීය පරිභෝජනය වෙනුවෙන් LP ගෑස් ආනයනය සහ බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙයි. 
ණයවර ලිපි (එල්සී) විවෘත කිරීමේදී ඇති වූ දුෂ්කරතා සහ දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් සියලු ගෑස් ආනයනයන් නැවැත්වීමට ලාෆ්ස් ගෑස් තීරණය කර ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම මෙසේ දන්වා ඇත.

“LP ගෑස් ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා සාධාරණ මිල ගණන් යටතේ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන් සමගින් කාලයකට සිට සාකච්ඡා කරමින් සිටිනවා. විශේෂයෙන්ම ලෝක වෙළෙඳ පොළේ LP ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යාම හේතුවෙන් මෙලෙස එම ගෑස් ගොඩබෑමේ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.”
ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි නිර්මාතෘ සහ විධායක සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ මෙසේය.
“මෙය අපි ගැනීමට බලාපොරොත්තු වූ තීරණයක් නොවේ. රටේ ජනාධිපති ඇතුළු වගකිවයුතු සෑම අයෙකු සමඟම අපි අදහස් හුවමාරු කර ගත්තත් එයින් කිසිදු ප්‍රයෝජනයක් වුණේ නෑ. එය ස්වාභාවික තීරණයක් ” යනුවෙනි.



මෙම තීරණය නිසා සිය පාරිභෝගිකයන් අපහසුතාවට පත්වන බවත් බලධාරීන් සමගින් තවදුරටත් සාකච්ඡා කරමින් දේශීය LP ගෑස් සැපයුම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි උපරිමව කටයුතු කරන බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මේ හේතුවෙන් රට පුරා ලාෆ්ස් ගෑස්වල හිඟයක් මේ වනවිට නිර්මාණයවී ඇත.  බොහෝ වෙළඳසල්වල ගෑස් නොමැති බව පවසන අතර අලෙවි නියෝජිතයන් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ ගෑස් සමාගම මගින් තමන් වෙත ගෑස් නිකුත් කර නොමැති බවයි.
ඇතැම් පාරිභෝගිකයින් ලාෆ්ස් ගෑස් සිලින්ඩරය රැගෙන ලිට්රෝ වෙලදසල්වලට ගොස් තිබෙන නමුත් ලාෆ්ස් ගෑස් හුවමාරු කිරීමට දැනුම් දී නොමැති බව  වෙළෙඳුන් දන්වා ඇත.
වෙළෙඳ පොළේ අවශ්‍යතාවයෙන් සියයට 70වක් ලිට්රෝ සමාගම ද සියයට 30ක් ලාෆ්ස් සමාගම මගින් ද සපයන අතර ලි‍ට්රෝ ඒ අඩුවත් පුරවන බවට පසුගිය දිනවල දන්වා ඇත.
වෙළඳපොලේ ගෑස් හිඟයකට ඉඩ නොතබන බව ද ලිට්‍රෝ සමාගම අවධාරණය කර තිබුණි.
ඕනෑම වර්ණයක ගෑස් සිලින්ඩරයක් සඳහා ගෑස් සැපයීමට තම සමාගම තීරණය කර ඇති බව ද ලි‍ට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනි.
ඉල්ලුම වැඩිවන ඕනෑම අවස්ථාවක ගෑස් ආනයනය කිරීමට සූදානම් බවද තෙෂාර ජයසිංහ මහතා පවසා ඇත.
එම පොරොන්දුව තවම ඉටුවී නැති බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.