
භාරකරුවකු නොමැතිව කඳාන, ආනියාකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ ඥාතීන් සොයා ගැනීම සඳහා රෝහලේ හෙදියක එම පුද්ගලයාගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට වසර 21 කට පසු එම පුද්ගලයා සොයා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. මෙම පුද්ගලයා වසර 21 ක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිට ඇතැයි ආනියාකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙලෙස වසර විසි එකක සිට නිවසින් අතුරුදන්ව සිට යළි හමුවී ඇත්තේ ගනේවත්ත පාර, කුරුවාව රත්තොට මාතලේ පදිංචිව සිටි කේ. ජී. පියසේන (70) නමැති පුද්ගලයෙකි.
භාරකරුවකු නොමැතිව කඳාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටි මෙම පුද්ගලයා පිළිබඳව රෝහලේ හෙදි නිලධාරිනියක ඉනෝකා කුමාරි මහත්මිය මුහුණුපොතේ ඡායාරූපයක් පළකර ඇත. එම ඡායාරූපයේ ඔහුගේ බිරිය වන ජී.ජී. ස්වර්ණලතා (58) මහත්මිය ද දැක ඇති අතර පසුව ඇය තම ස්වාමිපුරුෂයා හඳුනාගෙන ආනියකන්ද රෝහලට පෙරේදා (19) පැමිණි ඇත. පියසේන මහතාගේ මතකය යහපත් තත්වයේ නොතිබුණ ද ඇය සිය සැමියා හඳුනාගෙන ඇත. කකුලේ විශාල තුවාලයක් සහිතව ප්‍රතිකාර ලබමින් සිටි පියසේන මහතා ඔහුගේ පවුලේ අය ආනියකන්ද රෝහලෙන් රැගෙන යනු ලැබිය. ඉන්පසු ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතරෝහල් ආරංචි මාර්ග පවසයි.
- එම්.ආර්. කේ. පින්තු-
Comments
Post a Comment
Your comment will be visible after approval