2021 මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා විෂය නිර්දේශය නියමිත පරිදි ආවරණය නොකර විභාගය පැවැත්වීමට දින නියම කිරීමට එරෙහිව පිරිසක් ඊයේ (20දා) අනුරාධපුර නව නගරයේදී විරෝධතාවක නිරත වූහ.විභාග අපේක්ෂකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත්, විශාල පිරිසක් විභාගයට පෙනී නොසිටීමට මේ වනවිට තීරණය කර ඇතැයිද ඔවුහු මෙහිදී පැවසූහ.


 එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ මහතා. "ගුරුවරුන් දෙමවුපියන් සිසු සිසුවීයන් මෙම ස්ථානයට ඇවිල්ලා අද මේ කියන්නේ, කෝවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසර එකහමාරකට අධික කාලයක් වසා දැමීම්ම හේතුවෙන් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනකටයුතුවලට ලොකු බාධාවක් වෙලා තිබෙනවා කියලයි.

මෙසේ තිබියදී රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්ත උසස් නිලධාරින් උසස් පෙළ විභාගය තියන්න දින නියම කරලා තිබෙනවා. මෙවන් වටපිටාවක වත්මන් අධ්‍යාපන බලධාරීන්ගෙන් අපි අහනවා අධ්‍යාපනය මෙතරම් කඩාවැටී තිබියදී ඒ සදහා නිසි වැඩපිළිවෙළක් නොයොදා නිසි ක්‍රමවේදයක් සකස් නොකර කොහොමද අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන් කියලා. දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවනවා වෙනුවට ආණ්ඩුව මොකද කළේ?

අපි අහනවා ආණ්ඩුවේ බලධාරින්ගෙන් උසස් පෙළ විභාගයට දින නියම කරන්න කලින් මොන විශේෂඥ කමිටුවෙන්ද ඇහුවේ කියලා." මෙහිදී අදහස් දැක්වූ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් නාගස්තැන් අරුණ හිමියෝද අදහස් දැක්වූහ. මෙම උද්ඝෝෂණය සදහා ගුරුවරු දෙමවුපියන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක්සහභාගී වී සිටියහ.විෂය නිර්දේශය ආවරණය නොකර විභාගය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී රට පුරා පිරිස් ඒකරාශී කරගනිමින් දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බවද විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

(අනුරාධපුර - බී.ජී.චතුරංග)