15-girl-court-updates

අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මාර්ගයෙන් ලබාගත් බාලවයස්කාර දැරිය අපයෝජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප පොලිස් පරික්ෂකවරයා, හිටපු බැංකු කළමනාකරු සහ ගායන ශිල්පියා යන තිදෙනා අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී වින්දිත දැරිය විසින් ඊයේ (20) හඳුනාගනු ලැබූහ.  

කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී.ඩී. පෙරේරා මහතා හමුවේ ඊයේ (20) පෙරවරුවේ පැවැති හඳුනාගැනීමේ පෙරටුවේ දී වින්දිත දැරිය එම සැකකරුවන් තිදෙනා ඉතා පහසුවෙන් හඳුනාගත් බවට අධිකරණයේ දී කරුණු ඉදිරිපත් විය.

හඳුනාගැනීමේ පෙරට්ටුව අවසන්  වුවද, මෙම නඩුව විභාග කෙරෙන  ස්ථිර මහේස්ත්‍රාත්වරිය නොමැති වීම හේතුවෙන් සැකකරුවන් ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය නියෝග කළාය..  ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උපපොලිස් පරීක්ෂකවරයකු වන මඩකළපුවේ පදිංචි රාජසේකරන් ගිලුක්කරන්, හිටපු බැංකු කළමනාකරුවකු වන ගල්කිස්සේ  පදිංචි සුන්දරම් විමලචන්ද්‍රන් සහ ගායන ශීල්පියකු වන පේරාදෙණියේ පදිංචි ඒකනායක මුදියන්සේගේ  අබේරත්න බණ්ඩා යන අයවලුන්ය.  මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත්  පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ  යළි කැඳ වූ අවස්ථාවේ දී මෙම  කරුණු ඉදිරිපත් විය.


මහේස්ත්‍රාත් පරික්ෂණය ආරම්භ වූ අවස්ථාවේ දී පරිවාස දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු අධිකරණය හමුවේ  පෙනී සිටිමින් සඳහන් කළේ මෙම  සිද්ධියට සම්බන්ධ දැරිය සිය පියාගෙන් සහ පියාගේ මිතුරකු අතින් අපචාරයට ලක්වී ඇති බවට ළමා හා කාන්තා කාර්යාංශය ඉකුත්  07 වැනිදා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබූ බවය. එහිදී මීගහවත්ත පොලිසිය සහ පරිවාසය සිය වගකීම් පැහැර හැර  ඇති බවට එම වාර්තාවෙන් අධිකරණයට දැනුම් දී ඇති බව ද ඔහු කීවේය.

එවන් සිද්ධියක් සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව කිසිදු දැනුවත්වීමක් නොමැති අතර මහර අධිකරණයෙන් දෙපාර්තමේන්තුට පැවරූ එවන් නඩුවකට අදාළව කිසිදු පරිවාස විමර්ශනයක් ආරම්භ කර නැතැයි ද  සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ළමා හා කාන්තා කාර්යාංශය වින්දිත දැරියගේ ප්‍රකාශ මත පමණක් පදනම්ව සිටිමින් මෙම විමර්ශනය සිදුකර ඇති බවත් තහවුරු කර  නොගත් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර, දරුවන් වෙනුවෙන්ම  පෙනී සිටින පරිවාස දෙපාර්තමේන්තුව අපහසුතාවට  පත්කර ඇති බවත් ඔහු සඳහන් කළේය.  මෙම සිද්ධිය ජනමාධ්‍ය මගින්  පළවීමෙන් පසු ජනතාව තම දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුම් දෙමින් මේ සම්බන්ධයෙන් විමසීම් කරන බවත්, පොලිස් දෙපාර්තමේන්තුවෙන්  තම දෙපාර්තමේන්තුවට සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම  දෙපාර්තමේන්තුව කනගාටුව සහ අප්‍රසාදය ප්‍රකාශ කර සිටින බවත් සහකාර මෙහි දී අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය විමර්ශන අවසන් වූ සැකකරුවන් තිදෙනා ලබන 26 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

 -නිමන්ති රණසිංහ -