අන්තර්ජාලයේ පළ වූ දැන්වීමක් මාර්ගයෙන් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවූයේ යැයි ළමා හා කාත්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ  (13) නියෝග කළාය.  සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අලි නමැත්තාට බාල වයස්කාර දැරිය හඳුන්වා දෙනු ලැබ ඇත්තේ මෙම සැකකරු විසින් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන් අතර මොහු, මෙම  සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රජීව් නමැත්තාට මුල් අවස්ථාවේ සිටම දැරිය කුට්ටනය කිරීමට ආධාර අනුබල ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම්  දුන්නේය.




30 වැනි සැකකරු වන මොහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ළමා හා කාන්තා කායංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය. මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, වැලිසර නාවික හමුදා රෝහලේ වෛද්‍යවරයා, මැණික් ව්‍යාපාරිකයා සිද්ධියට අදාළ වින්දිත දැරියගේ මව, කැලණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් 10 දෙනකු අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇත.


පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ උප  පොලිස් පරීක්ෂකවරයකු, රජයේ  ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු  කළමනාකාරවරයකු, මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු,  පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු, මෙරට  ප්‍රධාන පෙළේ පෞද්ගලික  රෝහලක වෛද්‍යවරයකු, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු, ප්‍රසිද්ධ දුරකතන  සමාගමක කළමනාකාරවරයකු ඇතුළු පිරිසක් මේ වන විට මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


- නිමන්ති රණසිංහ -