who-mike-ryan-china

ලොවට වසංගතයක් වුණු  නව කොරෝනා වයිරසයේ  සුළමුල වීමසමින්, ඊට අදාළ තොරතුරු ලබා දෙන්නැයි දිගින් දිගටම චීනයට බලපෑම් කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ පැවැසුවේ, එම සංවිධානයේ ‘හදිසි ප්‍රතිචාර දැක්වීමේ” වැඩසටහන් ප්‍රධානියා ලෙස කටයුතු කරන මයික් රයන් ය. “කොවිඩ් 19 වයිරසයේ සුළමුල කුමක්දැයි දිගින් දිගටම චීනයෙන් ප්‍රශ්න කරන ලෝක සෞඛ්‍ය සංවිධානයට බැහැ. එසේ ප්‍රශ්න කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයට බලයක් ඇත්තේ නැහැ" යැයි මයික් රයන් මාධ්‍ය හමුවකදී පැවැසීය.



‘කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි. එම අවස්ථාවේදී කොවිඩ් 19' වයිරසය, කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා යැයි පැහැදිලිව හඳුනා ගැනීම සිදුවිය. ‘කොරෝනා' යනු සතුන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. මෙම වයිරස සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී, මිනිසුන් අතරේ ව්‍යාප්ත වෙයි. මීට පෙර එසේ මිනිසුන් අතරේ වසංගත ඇති කළ කොරෝනා වයිරස වන්නේ "සාස්" සහ "මර්ස්" ය. 'සාස්” වයිරසයේ ආරම්භය සිදුවූයේ ද චීනයෙනි. ‘සාස්” මිනිසුන්ට බෝ වීම සිදුවූයේ අඳුන් දිවියකු හරහාය. “මර්ස්” මැදපෙරදිග කලාපයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසයක් වන අතර එහි ආරම්භය ඔවුවන්ය.


‘කොවිඩ් 19වයිරසයේ ආරම්භය සිදුවූයේ වවුලන් හරහා බවත්, කබැල්ලෑවා අතරමැදියකු ලෙස සැලකිය හැකි බවත් චීන විද්‍යාඥයන්ගේ අදහස වුවත්, එය තහවුරු කිරීමට තවමත්  හැකියාවක් ලැබී නැත. චීනයේ විශාලතම වයිරස රසායනාගාරය ඇත්තේ ද වූහාන් නුවරය. ‘කොවිඩ් 19' යන නමින්  හැඳින්වෙන කොරෝනා වයිරසය මෙම  රසායනාගාරයෙන් කාන්දු වෙන්න ඇතැයි ඇමෙරිකා ඕස්ටේ‍්‍රලියා ඇතුළු බුද්ධි අංශ රැසක් අනාවරණය කර තිබේ. වූහාන් නුවරින් ‘කොවිඩ් 19 ' රෝගීන් හමුවීමට පෙර, වූහාන් වයිරස රසායනාගාරයේ පර්යේෂකයන් කීප දෙනකු රෝගීවීම සම්බන්ධයෙන් ද බුද්ධි අංශ අනාවරණය කර ඇත. වූහාන් රසායනාගාරය සම්බන්ධ සියලු දත්ත සහ වාර්තා තමන්ට කඩිනමින් ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් බුද්ධි අංශවලට දන්වා ඇත්තේ ද මේ නිසාය.


ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසර ආරම්භයේ, විශේෂ විමර්ශන කණ්ඩායමක් වූහාන් බලා යැවුවේ, “කොවිඩ් 19" වයිරසයේ සුලමුල සෙවීමටය. එම විමර්ශන කණ්ඩායමට, ජාත්‍යන්තරයේ පිළිගත් විශේෂඥයෝ රැසක් එක්වූහ. ඔවුන්ට වූහාන් රසායනාගාරය නැරඹීමට පවා අවස්ථාවක් චීන රජය උදා කර දුන්නේය. මෙම රසායනාගාරයේ කොරෝනා වයිරස රැසක් ගබඩා කර තිබේ. ඒ, ජීව අවි නිපදවීමටය. රසායනාගාරය අයිති චීන රජයට සහ හමුදාවටය.

  වූහාන් ගිය විමර්ශන කණ්ඩායමේ අවසන් නිගමනය වූයේ කොවිඩ් 19 වයිරසයේ ආරම්භය ප්‍රශ්නාර්ථයක් බවය.



ඇමෙරිකාව ඇතුළු බටහිර රටචල් දිගින් දිගටම පෙන්වා දෙන්නේ වයිරසයේ ආරම්භය ස්වභාවික නොවන බවත්, එය රසායනාගාරයක් තුළ කෘත්‍රිමව නිපදවනු ලැබූවක් බවය. ඒ අනුව, ඒ ගැන චීනයෙන් විස්තර ලබා ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගින් දිගටම බලපෑම් එල්ල වෙයි. එය එසේ කළ නොහැකි යැයි මයික් රයන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර දී ඇත.  ‘කොවිඩ් 19’ වයිරය 2019 වසරේ දෙසැම්බරයේ චීනය තුළ ව්‍යාප්ත වීම ආරම්භ වෙද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ කීමට පමණක් කන් දෙමින්, වයිරසයේ බිහිසුණු ස්වභාවයක් සම්බන්ධයෙන් සෙසු රටවල් දැනුවත් නොකළ බවටත් චෝදනා එල්ල වී ඇත. 'කොවිඩ් 19 වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය  කල්තියා අනතුරු අඟවා නිසි ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට උපදෙස් ලබා දුන්නේ නම්, “කොවිඩ් 19" ගෝලීය වසංගතයක් නොවනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.


ඇමෙරිකාවේ හිටපු ජනාධිපති දිගින් දිගටම ‘කොවිඩ් 19' වයිරසය හඳුන්වන්නේ “චීන වයිරසය යන නමිනි. ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරීකාව ඉවත් කර ගත්තේ, වයිරස වයාප්තිය පාලනයට නිසි පියවර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. කෙසේ නමුත් වත්මන් ජනාධිපති ජෝ බයිඩන්,  මේ වනවිටත් ඇමෙරිකාව යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් කර අවසන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු යැයි ට්‍රම්ප් පවසා තිබේ. එය වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව සෙසු ලෝක නායකයන් ද අනුමත කර තිබේ.