court-decition-police

අත්අඩංගුවේ සිටි 17 හැවිරිදී තරුණයකු 2014 වසරේදී අමානුෂික ලෙස පහර දී මරණයට පත් කිරිමෙන් එම තරුණයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝය කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂි තුනක වන්දි මුදලක් සහ රුපියල් හැටදහසක නඩු ගාස්තු මියගිය තරුණයාගේ මවට සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස පොලිස් නිලධාරීන් හය දෙනාට නියම කළේය.   එම තරුණයා සමග අත්අඩංගුවට පත්වී පොලිසියේ හිරිහැරයට ලක් වූ ඔහුගේ වැඩිමහලු සහෝදරයා ඇතුළු ඥාතින් පිරිසකට රුපියල් දෙලක්ෂ හතළිස් දහසක වන්දි  මුදලක් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය එම පොලිස් නිලධාරින්ට නියම කරනු ලැබීය.


2017 වසරේදී බදුල්ල මහාධිකරණ විසින් මෙම වගඋත්තරකරුවන්ට මරණ දඬුවම් නියම කරනු ලැබ ඇති නිසා රජය පාර්ශ්වයෙන් ගත යුතු පියවර ගෙන තිබෙන  බැවින් කිසිදු මුදලක් ගෙවීමට රජයට නියම නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.  තම පුතු පොලිස් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී මරණයට පත් කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මියගිය  තරුණයාගේ මව වන මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි කේ.යු. මල්ලිකා නමැත්තිය ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම්  පෙත්සම විභාග කර තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කළේය.සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා යන  මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.  2014 වසරේදී කන්දකැටිය පොලිසියේ කොස්තාපල්වරුන්  ලෙස සේවය කළ ඩී.එම් අබේරත්න, ඩී.පී. කේ ගමගේ, එස්.  එම්. ආර්.පී කුමාර, සිවිල් ආරක්ෂක නිලධාරි එස්.ජේ.එම් ජයසුන්දර, ඩී.එම්. විජේරත්න සහ උප පොලිස් පරික්ෂක ආර්.පී. සෝමරත්න යන අයට අධිකරණය මෙම නියෝගය කළේය.


අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් විනිසුරු එස්. තුරෙරාජා මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේද සදහන් වේ. පෙත්සම්කාරියගේ පුත්‍රයා පාසල් හැරයාමෙන් පසු එළවළු  වෙළඳාමේ නිරත විය.

2014 මැයි 07 වැනි දින මියගිය  පුත්‍රයා තවත් ඥාති පිරිසක් සමග ත්‍රීරෝද රථයක් මිලදී ගැනීම සඳහා කොට්ටාව ප්‍රදේශයට ගොස් ඇත. මේ අවස්ථාවේ දී මේ පිරිස කන්දකැටිය පොලිසියේ පොලිස් කණ්ඩායමක් විසින් පහර දී අත්අඩංගුවට ගෙන කන්දකැටිය පොලිසියට රැන්ගෙන ගිය බව පෙත්සම්කාරියට දුරකතන ඇමතුමක් ලැබී ඇත. ඉන්පසු පෙත්සම්කාරිය කන්දකැටිය පොලිසියට ගියාය. එහිදී පෙත්සම්කාරියගේ පුත්‍රයන් දෙදෙනාත් ඥාතීන් ද පොලිස් පහර කෑමට ලක්ව සිටියහ. පහර කෑමට ලක්ව සිටිය දී පොලිස් පරික්ෂක සෝමරත්න ඇතුළු පිරිසක් තමාට පහර දුන් බවත්, තදින් පපුව රිදෙන බවත් සිය පුතු පවසා ඇත. ඒ අවස්ථාවේ දී පෙත්සමකාරිය තම පුතු රෝහලට ගෙන යන ලෙස එම පොලිස් පරික්ෂකවරයාගෙන් බැගෑපත්ව ආයාචනය කර ඇතත් ඒම නිලධාරියා කෑ ගසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.


කෙසේ නමුත් මෙම පිරිස නිධානයක් කොල්ලකෑමේ සිද්ධියකට සමබන්ධ බවට චෝදනා කරමින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක කාලයකට රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. තම පුතු මිය ගිය පසු රෝහලට ඇතුළත් කළ බව ද සිය  වැඩිමහලු පුතු පැවසූ බව පෙත්සම්කාරිය කියා සිටින්නීය.වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය විරෝධතාවලින්  කියා සිටියේ පොලිසිය යන විට දෙපිරිස අතර කලහකාරි තත්වයක් තිබූ බවත්, පොලිසිය අවම බලය යොදා එය සමතයකට පත් කළ බවත්ය. කෙසේ නමුත් මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා පරික්ෂා කිරිමේ දී මොට ආයුධයකින් තදින් පහර දීමෙන් මොළයට, හෘද වස්තුවට සහ පෙනහළුවලට බරපතළ තුවාල වීම හේතුවෙන් මරණයට පත් වී ඇති බව මරණ පරික්‍ෂණ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පොලිසිය අවම  බලය භාවිත කළ බවට පිළිගත නොහැකි යැයි අධිකරණයේ මතයයි. ඒ අනුව වගඋත්තකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1), 13 (1) යන වගන්තීන්වලින් ප්‍රකාශිත මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අධිකරණය තීන්දු කර ඇත.  


මෙම සිද්ධිය නිසා පෙත්සම්කාර මව ඉතා අසරණ තත්වයට පත්ව ඇතැයි ද තීන්දුවේ සඳහන් වේ.

එබැවින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් සහ රුපියල් හැට දහසක නඩු ගාස්තු පෞද්ගලික මුදලින් මියගිය තරුණයාගේ මවට ගෙවන ලෙස පොලිස් නිලධාරීන් හය දෙනාට නියෝග කළ බව ද සඳහන්ය.  එම තරුණයා සමග අත්අඩංගුවට පත්වී පොලිසියේ හිරිහැරයට ලක් වූ ඔහුගේ වැඩිමහලු සහෝදරයා ඇතුළු ඥාතින් පිරිසකට රුපියල් දෙලක්ෂ හතළිස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් නිලධාරින්ට නියම කළේය.  මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව 2017 වසරේ දී බදුල්ල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කර ඇති නිසා රජය පාර්ශ්ව යෙන් ගත යුතු පියවර ගෙන තිබෙන බැවින් කිසිදු මුදලක් ගෙවීමට රජයට නියම නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් සහ ෂනාස් ෂඩීන් යන නීතිඥවරු පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.

තිලිණි ද සිල්වා,  රන්ජන් කටුගම්පොළ