sudath-samaraweera-transfered

ඊයේ (18) දිනයේ ජනපති සහභාගීවූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ලංකාවේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අසම්පූර්ණ හා දෝෂ සහගත වාර්තා ඉදිරිපත් කිරීම ගැන වසංගත රෝග විද්‍ය ඒකකය දැඩි දෝෂාරෝපණයට ලක්විය.


එහි ප්‍රධානි ලෙස කටයුතු කළ  වෛද්‍ය සුදත් සමරවීර ඊට වගකිව යුතු වූ අතර ඔහුව එම තනතුරින් ඉවත්කර ඇති බව අද (19) වාර්තාවේ. ඔහුට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමට  හදිසි ස්ථාන මාරුවක් ලෙස ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.
කොරෝනා රෝගීන් 101 ක් මියගිය බවට පසුගිය 11 වනදා වසංගත රෝග විද්‍යා අංශය ලබාදුන් වාර්තාවේ දෝෂය නිසා පසුගිය 14 වනදා සංචරණ සීමා ඉවත්කරන්නට තිබුණ අවස්ථාව වෙනස්වූ බවත් එදින සැබෑ ලෙස මියගියේ 15 ක් බවත් ජනපතිවරයා ඊයේ පැවසූ අතර නිවැරදි නොවන දත්ත ලබාදීම නිසා බුද්ධි අංශ යොදවා සැබෑ තත්වය තේරුම් ගැනීමට සිදුවූ බව දන්වා සිටියේය.


කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අධ්‍යක්ෂවරයාව හා එම ඒකකය විවේචනය කළ අතර මෙම සංඛ්‍යාලේඛන භාරව තිදෙනෙකු කටයුතු කළ බවත් ඔවුන්ට මේවායේ ගැටලු ගැන කියන්නට යාමේදී ඇහුම්කන් නොදුන් බවත් ඔහුගේ චෝදනාව විය.සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවද ඔහු කීය.
"අපි ඕක තමයි දිගටම කිව්වෙ ස'. ඇමතිතුමිය දැම්මා ඩිරෙක්ටර් ඉන්ෆොමේශන් කියලා තනතුරකුත්. එතුමා හැමදාම සෞඛ්‍ය අංශයේ වෙබ් අඩවියෙ දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ටර් ඉන්ෆොමේශන්ට සපයන්නෙත් නෑ.

මේකෙ තියෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයට වගකීම් 6ක්. පළවෙනි එක තමයි ජනාධිපතිතුමනි, ඔබතුමා දැන් කියපු ටික හරියට හරි නිරීක්ෂණය පළවෙනි එක. දෙවැනි එක වසංගත පාලනය. තුන්වැනි එක එන්නත්කරණය. හතරවැනි එක සායනික කළමනාකරණ සම්බන්ධීකරණය. පස්වෙනි එක මෙහෙයුම් පර්යේෂණ. ඊළඟට අධීක්ෂණය සහ ඇගයීම. නමුත් එහෙම කරන්නෙ නෑ ස'.

එතන ඉන්න ඉතුරු විශේෂඥ වෛද්‍යවරුන් අපට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නෙ නෑ තුන්දෙනෙක් තමා සියලුම දේවල් කරන්නෙ. ස' මේක මං දැන් මේ වගකීමෙන් කියනවා ස' මේක කුමන්ත්‍රණයක් කියලා ! මේ ඩේටා දෙන්නෙම නෑ"
ඔහු කීවේය.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මීට ඉහතත් තොරතුරු හරියාකාරව ලබානොදීම නිසා ජනමාධ්‍යවේදිනියකගේ දෝෂ දර්ශනයට ලක්වූ අතර ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එහිදී ජනමාධ්‍ය වේදිනිය දන්වා සිටියේ අප්‍රේල් 14 ට පෙර පැවැත්වූ අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාව අවස්ථාව වනවිට බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලංකාවෙන් වාර්තාවී කොරෝනා අවදානම ගැන විශේෂ තත්වයක් තිබුණ නමුත් එම අවදානම එකී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හරියාකාරව සන්නිවේදනය නොකළ බවත්ය.

ඒ හේතුවෙන් ‘අවුරුදු රැල්ල‘ බිහිවනූ බවත්ය. ඊට අමතරව ඇය විවේචනය කර තිබුනේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවිය පවා නිසි වේලාවට තොරතුරු යාවත්කාල නොකරන බවත් මියගිය අයගේ වයස් මට්ටම් පවා හරියාකාරව වාර්තා කර නැති බවත්ය.

චෝදනාවන්ට ලක්වූ වෛද්‍ය සුදත් සමරවීර පසුගිය සති තුන හතරක කාලයේ සිට මාධ්‍ය හමුවලින්ද ඉවත් කර තිබූ අතර ඔහු වෙනුවට මාධ්‍ය ඉදිරියේ කරුණු දක්වන්නට පැමිණියේ වෛද්‍ය හේමන්ත හේරත්ය.
වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇත.

සම්බන්ධිත පෙර වාර්තා
  • කොරෝනා පාලනයට තොරතුරු නිසි වේලාවට නොදීම ගැන වෛද්‍ය සමරවීරට මාධ්‍යවේදිනිය බැණ වදී
https://www.gossiplankanews.com/2021/04/sudath-samaraweera-media.html

  • ඇත්ත හංගන සුදත් සමරවීර එක්ක බැහැ -GMOA
https://www.gossiplankanews.com/2021/05/sudath-samaraweera-gmoa.html

  • කොරෝනා දත්ත සඟවන බවට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීරට චෝදනා
https://www.gossiplankanews.com/2021/05/padeniya-samaraweera.html