sudath-samaraweera-gmoa

තවදුරටත් වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාගේ උපදෙස් පිළිනොගෙන ඒ වෙනුවට එම අංශයේ
ප්‍රධානියා ලෙස මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පතකරන
ලෙස අද සෞඛ්‍ය අමත්‍යතුමියගෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර
ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය. සොයිසා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්
පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.



කෙසේවෙතත් අද දිනය තුළ පවතින ගැටළු නිරාකරණය කිරීමට අමාත්‍යවරිය පොරොන්දු වී තිබෙන අතර ඒ
අනුව හෙට දිනය වන විට අදාළ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාස කරන බවද නවීන් ද
සොයිසා මහතා කියා සිටියේය.

එසේ නොවුණහොත් තවදුරටත් මෙම වසංගත රෝග අංශයේ ප්‍රධානියා යටතේ කටයුතු කිරීමේ අපහසුව හා
ඒ තීරණය ශාඛා සමිතිවලට දැනුම් දීම හෙට දිනයේදී සිදුකරන බවත් ඔහු සඳහන් කරන ලදී.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

''ඉතා පැහැදිලිව මේ රටේ නිවැරදි දත්ත නොමැතිව නිවැරදි දත්ත නොපෙන්වා නිශ්චිත සිතියම
පෙන්වන්නේ නැතුව වසංගත රෝග අංශය ඉතා පැහැදිලි ලෙස සමස්ත රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ
යවමින් තිබෙන බව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සභාවේ තීරණය වෙලා තියෙන්නේ.''