මෙරට සිදුවන මරණවලින් 83%ක් හෘද රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග වැනි ප්‍රධාන බෝනොවන රෝග  හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (16දා) රැස්වූ බෝනොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලයේදී අනාවරණය විය.   එම කවුන්සිලය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී ඇය සඳහන් කර සිටියේ, එවැනි බෝනොවන රෝග මර්දනය සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා තමා නායකත්වය ගන්නා බවයි. එසේම මෙහිදී බෝ නොවන රෝග පාලනයට පසුගිය වසර කිහිපය තුළ සිදුකළ හා  දැනට සිදුකරන ක්‍රියාකාරකම් සාකච්ජාවට හා සමාලෝචනයට ලක් කෙරිණි.


ඒ අනුව හෘද රෝග,

ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝනොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම සකස් කිරීම හා ඊට අදාළ සමාලෝචනය අමාත්‍යවරිය විසින්  සිදු කරන ලදි. මීට අමතරව අනාගතයේදී  බෝනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලීන සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත්, එසේම එම සේවාවන් කාර්යක්‍ෂම සහ විධිමත් කිරීමට  පියවර ගනිමින් ඊට අදාළ මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිලධාරින්ට උපදෙස් දෙන ලදි.

බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය 2017 වසරේදී පිහිටුවා ඇති අතර, මාස 06කට වරක් රැස්වී බෝනොවන රෝග පාලනය සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සමාලෝචනයක නිරත වේ. මෙහි සභාපතිධුරය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් දරනු ලබන අතර, උපදේශකත්වය බෝනොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය විසින් දරනු ලැබේ. මෙම අවස්ථාවට අමාත්‍යාංශ හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමිට අදාළ නිලධා සූම් තාක්ෂණය ඔස්සේද සම්බන්ධ වූහ.


- නිදර්ශනී වික්‍රමසිංහ -