mathale-covid19-vaccine-incident

මාතලේ ඉඹුල්දණ්ඩ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට ලබාදීමට ගෙනා කොවිඩ් 19 මර්දන එන්නත් මාතලේ බෞද්ධ මන්දිරයේ පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු පාලක මණ්ඩලයේ පිරිසකට විද ගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය ස්වා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් මහතා පැවැසීය. මේ සිද්ධිය පිළිබඳව මාතලේ දිස්ත්‍රික් මර්දන මෙහෙයුම් කමිටු සම්බන්ධීකාරක මේජර්ජෙනරාල් නිශාන්ත මානගේ මහතා දැනුවත් කළ බවද වීරකෝන් මහතා සඳහන් කළේය. ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට එන්නත් ලබාදීම මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පසුගියදා සිදුකෙරිණි. එම අක්‍රමිකතාව පිළිබදව වැඩිහිටි නිවාසයේ පාලකයන් සහ වැඩිහිටියන් කීපදෙනකු මාතලේ දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතාටද පැමිණිලි කර ඇත.



මන්ත්‍රීවරයා ඒ පිළිබඳව මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් මර්දන මෙහෙයුම් කමිටු සම්බන්ධීකාරක මේජර්ජෙනරාල් නිශාන්ත මානගේ, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්වරුන්ට පැමිණිලි කර ඇත.දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීම ක්‍රමවත්ව කරගෙන ගිය අතර මෙවැනි කටයුතු නිසා මෙම වැඩපිළිවෙළ ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වන බව සභාපති නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා පැවසීය. මාතලේ බෞද්ධ මන්දිරයේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු පැවසුවේ මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් පාලනය වන වැඩිහිටි නිවාස දෙකක් වන මඩවල එල්. වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් 17දෙනකුට ද, සේවකයන් 4 දෙනකුට ද, පාලක මණ්ඩලයේ පදෙනකුට ද, එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදී ඇති බවයි.

ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් 21 දෙනකුට, සේවකයන් තුන්දෙනකුට සහ පාලක මණ්ඩලයේ 5 දෙනකුට ද එන්නත් ලබාදී ඇතැයි ඔහු කීවේය. දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරි වයි.එස්.කුමාරිලතා මහත්මිය විසින් සකස් කරන ලද ලේඛනයට අනුව මාතලේ අතිරේක දිසාපති අයි.ඩී.පී. විජේතිලක මහතා නිර්දේශය මත මාතලේ මහ දිසාපති එස්.එම්.ජී.කේ. පෙරේරා මහතාගේ අනුමැතියෙන් එය ලබාදුන් බවත් එහි කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොවූ බවත් හෙතෙම පැවසිය.

(මාතලේ - ඇම්.ඩබිලිව්. සෝමරත්න)