rajiw-yasiru-huruvitage-mathew

ජනපති කාර්යාලය ඇතුළු රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය ප්‍රචාර කරගෙන ගිය රජිව් යසිරු කුරුවිටගේ නමැත්තා තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති ලියාපදිංචි නොවූ සංගමයක් තනිවම පවත්වාගෙන ගිය 22 හැවිරිදි තරුණයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සයිබර් අපරාධ පරීක්ෂණ ඒකකය මගින් පෙරේදා (07 වැනිදා) අත්අඩංගුවට ගත් මෙම සැකකරු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස නිවේදන නිකුත් කරමින් මාධ්‍ය රවටා පෙනී සිටිමින් කාලයක් තිස්සේ කටයුතු කර ඇතැයි හෙළි වී ඇත.



විසි දෙහැවිරිදි මෙම සැකකරු රාජ්‍ය ආයතනයකට පමණක් ශ්‍රී ලංකා නාමය භාවිත කළ හැකි බව පවා දැන නොසිටි බවත්, ලියාපදිංචියක් නොවූ සංගමයේ සභාපති ලෙස නිවේදන නිකුත් කළ ද එහි වෙනත් කිසිදු සාමාජිකයකු හෝ පරිගණක දැනුම පිළිබඳ විශේෂඥයකු නොවන බව ද හෙළිකර ඇත.

තමා තනිවම මෙම සංගමය පිහිටුවා ගත්තද තොරතුරු තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් හෝ ක්ෂේත්‍රයේ දැනුමක් නොවන බව ද හෙළිකර ගෙන ඇත.

ජනපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට තම සංගමය අනතුරු හඟවා තිබියදී දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඉකුත් 04 වැනිදා නිවේදනයක් නිකුත් කර තිබිණි.



මෙය අසත්‍ය බවත් තමාට සමාව ලබාදෙන ලෙසත් සැකකරු ඉල්ලා ඇත.

මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම වට්ස්ඇප් මාර්ගයෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජංගම දුරකථන පරිශීලකයන් වෙත පසුගිය සතියේ නිල වශයෙන් වෙඩ් අඩවිය මගින් දැනුවත් කර තිබිදී මෙම සැකකරු මෙම සංගමයෙන් එය හෙලා දකිමින් මෙය අනවශ්‍ය බිය ගැන්වීමක් බවට ප්‍රචාරය කර ඇත. මෙමගින් සැකකරු පරිගණක අපරාධකරුවන්ට ඉඩ සලසා දී ඇති බවත් විමර්ශනවලදී හෙලි වී තිබේ.

සැකකරු අද (09) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (08 වැනිදා) නියෝග කළාය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා -ඉෂාර රත්නකාර