shavendra-silva-speaks

රට ලබන 14 වැනිදා විවෘත කරන්නේ රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට සෞඛ්‍ය විශේෂඥයන් තහවුරු කළහොත් පමණකැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කරන බව පැවැසු යුද හමුදාපතිවරයා, රට විවෘත කිරීමට පෙර කොවිඩ් ව්‍යාප්තිය ගැන පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු වන බවද සඳහන් කළේය.



 දැනට පවතින නිර්දේශවලට අනුව සංචරණ සීමා ලිහිල් කිරිමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය. මේ අතර, පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වාවත් දීර්ඝ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් රැසක් රජයට දැනටමත් කරුණු  පෙන්වා දී ඇත.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ග්‍රාම නිලධාරි වසම් 189 කින් වසම් 77ක් හුදෙකලා භාවයෙන් පෙරේදා (7) සිට නිදහස් කෙරිණි.  හුදෙකලා භාවයෙන් මෙසේ නිදහස් කෙරුණද එම ප්‍රදේශවල සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ්19 පැතිරීම පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  කොවිඩ් 19 තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසුව රටපුරය සංචරණ සීමා පනවනු ලැබූවේ පසුගිය 21 වැනිදා සිටය.  රටපුරා සංචරණ සීමා පැනවුවද අත්‍යවශ්‍ය සේවා කටයුතු එම කාලය පුරා දිගටම ක්‍රියාත්මක කෙරේ.

 -සුජිත් හේවාජුලිගේ-