pubudu-jayagoda-speaks

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිදු කළ අදහස් දැක්වීමක් පහත පළවේ.

 
උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉන්ධන මිළ පහල දැමීමට අපෙන් විකල්ප ඉල්ලයි. අපට ඔහුට දීමට උපදෙසක් නැත. ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කර ඇත. ඒ අනුව ඒකාධිකාර සමාගම් වල හා මූල්‍ය ප්‍රාග්ධනයේ උවමනාවන් වෙනුවෙන් එදිනෙදා යතුරුපැදියෙන් හෝ වෙනත් පෞද්ගලික වාහනයකින් වැඩට යන කම්කරුවන්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන්, සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉන්ධන භාවිතා කරන ගොවීන් සහ ධීවරයන් ඇතුළු සියල්ලන් බිලිදීමට ඔවුන් පැකිලෙන්නේ නැත.



නමුත් ඉන්ධන මිළෙන් පීඩාවට පත්ව විකල්පයක් සොයන ජනතාවට අපට කීමට දෙයක් තිබේ. මෙතෙක් කල් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතර ආදායම් සැපයූ ගෑස් අංශය ෂෙල් සමාගමටත්, ලිහිසිතෙල් අංශය කැල්ටෙක්ස් සමාගමටත්, නැව්තෙල් අංශය ජෝන් කීල්ස් සමාගමටත්, පොහොර අංශය ඩුබායි සමාගමකටත්, නයිලෝන් අංශය කොරියානු සමාගමකටත්, ඉන්ධන ආනයනය-බෙදාහැරීම-තෙල් පිරවුම්හල් ආදි ජාලයේ ලොකු කොටසක් ඉන්දියානු IOC සමාගමටත් ආදී වශයෙන් විකුණා දැමූ මහජන දේපල විකුණාගෙන කන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙලෙසම තිබියදී ලාබෙට පෙට්‍රල් මිලදී ගැනීම පමණක් කළ නොහැක. (අපෙන් විකල්ප ඉල්ලන ගම්මන්පිල අමාත්‍යවරයා 2021 මැයි 31 වැනිදා ඉන්ධන පිරිපහදුවත් චීන සමාගමකට ලබාදී ඉතිරිව තිබුණු සොච්චමත් පෞද්ගලීකරණය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවද, මේ ආණ්ඩුව ඉන්නේද ඒ ප්‍රතිපත්තියේම බවද අමතක නොකරන්න)



පසුගිය වසරේ ලෝක වෙළඳපලේ ඉන්ධන මිළ අඩකින් අඩුවූ පසුව ඒ ලැබූ අතිරික්තයෙන් ගොඩ නගනවා කියූ ඉන්ධන මිළ ස්ථායිකරණ අරමුදල වාෂ්ප වීමට ඉඩදී ඔහේ බලාගෙන සිට පෙට්‍රල් පමණක් ලාබෙට ගත නොහැක. සමාගම් වල ‘ආර්ථිකය ආරක්ෂා කිරීම’ වෙනුවෙන් පහල පාංතික ජනයාගේ ආර්ථිකය බිල්ලට දෙන මේ පාලනය මෙලෙසම පවත්වාගෙන යන ගමන්, මේ දේශපාලන තේරීම් මෙලෙසම පවත්වාගෙන යන ගමන් ඉන්ධන මිළ පමණක් අඩු කිරීමට සිහින දැකීමෙන් පලක් නැත. ඔබට වඩා යහපත් ජීවිතයක් හා සාධාරණ සමාජයක් ගැන අපේක්ෂාවක් තිබේනම් මේ ආර්ථික ප්‍රතිපත්තිය, මේ දේශපාලන බලාධිකාරය ඇතුළු මුළු පද්ධතියම වෙනස් කිරීමට තීරණයක් ගන්න. ඒ තීරණය ගන්නා තත්වයක් තුළ අපි විකල්ප සාකච්ඡා කරමු.