පිලිපීනය තුළ COVID-19 මර්දන එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් අල්ලා හිරේ දමන බව එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටෙර්ටේ අනතුරු අඟවා තිබේ. අද වනවිට පිලිපීනය දරුණු ලෙස වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අතර එය මගහැරවීම සදහා සුදුසුම ක්‍රියාමාර්ගය එන්නත්කරණය ලෙස පිළිගෙන ඇත. 

"ඔබලා දෙකෙන් එකක් තෝරාගන්න. එක්කෝ එන්නත නැත්නම් මම ඔබලාව හිරේ දානවා.” ජනපති ඩුටෙර්ටේ පසුගියදා පැවැති රූපවාහිනී ඇමතුමකදී සදහන් කර තිබේ. විශේෂයෙන්ම එරට මැනිලා අගනුවර පිහිටා තිබූ එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී පවා ඉතාමත් අවම සහභාගිත්වයක් දැකගත හැකිවීම ජනපතිවරයාගේ මේ අදහසට හේතුව වී ඇත. අද වනවිට පිලිපීනය තුළ ලක්ෂ 13කට අධික ආසාදිතයන් පිරිසක් වාර්තා වන අතර මරණ 23,000ක් පමණ සිදුව තිබේ.