ප්‍රවීණ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත මහතා අද 23 අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 71 හැවිරිදි වියෙහි පසුවිය.
පසුගිය වසර දෙකක පමණ කාලයේ ඔහු රෝගාතුරව සිටි බවත් ගල්කිස්ස කලාපුර පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූ බවත් ඥාතීන් දන්වා තිබෙයි.



උඩරට නැටුම් සම්ප්‍රදායන් බොහෝ දුරට ව්‍යාප්ත වී තිබූ සත්කෝරලයේ  බුදවත්ත ගම්මානය පිහිටා ඇත. රජ කාලයේ සිටම නැටුම් පරම්පරාවකට අයත්වූ පුංචි ගුරු බුදවත්ත කුලසිරිගේ පියාය. ඔහුගේ මව පී. එන්. ඇල්පි නොනා ය. ඔවුනගේ නිවස නැටුම් පාසලක් විය.
 නැටුම් පවුලින්  ආ ආභාසය සමග ඔහු නැටුම් ශිල්පියෙකු බවට මෙන්ම නැටුම් ගුරුවරයෙකු බවට පත්විය.
වසර ගණනාවක් තිස්සේ ඔහු සිය ගණනක් සිසුන් බිහි කර ඇත. මෙම සිසුන්ගෙන් සමහරක් තවමත් නර්තන ක්ෂේත්‍රයේ අඛණ්ඩව සිටිති.
‘බුදවත්ත රංගායතනය’ නමින් රංගායතයනයක් පවත්වා යන කුලසිරි බුදවත්තයන්ගෙන් සාම්ප්‍රදායික නර්තනය උගනිමින් වර්තමානයේ නර්තන කලාවට පිවිසි ශිල්පීන් බොහොමයක් වෙයි. ඒ අතර, ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, නර්තනාචාරිනී උපේඛා ගංගොඩවිල, රංගන ශිල්ප ශිල්පිනියන් වන ජගත් චමිල, සුරාජ් මාපා, මංජුලා කුමාරි, බුදවත්තයන්ගේ ශිෂ්‍ය පරම්පරාව ඔහුගේ ගෝලයෝ වෙති.



ඔහුගේ බිරිඳ වන නේමාලි බුදවත්ත මහත්මිය ද නර්තන ආචාර්යවරියකි. කුලසිරි බුදවත්ත මහතාගේ පුත්‍රයා වන රංගන රන්සිලු බුදවත්ත ද නර්තනයේ මෙන්ම බෙරවාදනයේ දස්කම් දක්වන්නෙකි.
මහරගම පිහිටා ඇ.ති ‘බුදවත්ත රංගායතනය’ සිසුසිසුවියන් 2800 කට පමණ ඉගැන්වීම් කරන්නාවූ ස්ථානයකි.
ඔහුගේ පුතු එහි කළමනාකරු ලෙස දැන් කටයුතු කරයි.
සාම්ප්‍රදායින නර්තන කලාවේ ප්‍රගමනයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ කුලසිරි බුදවත්තගේ නැටුම් අංග දේශීය හා විදේශීය උත්සව අවස්ථාවල නැතිවම බැරි අංග බවට පත්ව තිබුණි. මෙරට සම්ප්‍රදායන් විදේශයන්හි ඇගයීමට ඔහු සැපයූ දායකත්වයද සුවිශේෂී විය.