no-cat-dog-cvid19

කෝවිඩ්-19 වෛරසය බල්ලන්, බළලුන් ඇතුළු අනෙකුත් සත්වයන්ගෙන් මිනිසාට බෝ වන බවට මෙතෙක් වාර්තා වී නොමැති බැවින් ජනතාව ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි. 


එහි සභාපති වෛද්‍ය එරන්දික ගුණවර්ධන මහතා සඳහන් කළේ, සතුන් හසුරුවන පුද්ගලයන් හා සතුන්ට සත්කාර කරන පුද්ගලයන් හරහා කෝවිඩ්-19 වෛරසය සතුන්ට ආසාදනය වීමේ අවදානමක් පවතින නමුත් සතුන්ගෙන් මිනිසාට ආසාදනය වීමක් පිළිබඳ පර්යේෂණ මගින් සනාථ වී නොමැති බවය.



කොළඹදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිර්මක නිරත වූ වෛද්‍ය එරන්දික ගුණවර්ධන මහතා,

“කෝවිඩ් වෛරසය සතුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව ශ්‍රී ලංකාවේ සිංහයෙකුට ආසාදනය වීම නොවෙයි. ඇමෙරිකාවේ නිව්යෝක්වල සත්වෝද්‍යානයක බිළාල පවුලේ ව්‍යාඝ්‍රයන්ට කෝවිඩ් වැලඳුණු බවට තහවුරු වුණා. එම අවස්ථාවේදී පර්යේෂණ මණ්ඩලයක් විසින් සිදුකරන ලද විග්නේෂණ  අනුව තහවුරු වුණේ මෙම තත්වය මිනිසාගෙන් සතුන්ට බෝ වීමක් ලෙසයි. බල්ලන්, බළලුන් වැනි සතුන්ගෙන් කෝවිඩ් වෛරසය මිනිසාට බෝවිය. හැකි බවට ලොව මෙතෙක් වාර්තා වී නැහැ. සතුන් හසුරුවන පුද්ගලයන් හරහා, සත්කාර කරන පුද්ගලයන් හරහා සතුන්ට වෛරසය වැලඳීමේ අවදානමක් තිබෙනවා" යැයිද ප්‍රකාශ කළේය.

(නිදර්ශනී වික්‍රමසිංහ)