new-pvc-pet-ban-sri-lanka

පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර හානියට ඉවහල්වන
නිෂ්පාදන වර්ග 05ක් තහනම් කිරීම සඳහා පියවර ගනු ලැබීය. 

එමෙන්ම තහනම් කිරීමට නියමිත පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිපදවන ලද භාණ්ඩ ඇතුළත් දෙවන ලැයිස්තුවක්
ද මේ වනවිට සකස් කරමින් තිබේ.  එම ලැයිස්තුවට අයත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිපදවන භාණ්ඩ
තහනම් කිරීම සඳහා ද කඩිනමින් පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම
පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

මෙම ලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් පරිසර හිතකාමී,  එමෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදා
ගත හැකිව තිබියදී නිපදවන භාණ්ඩ වේ. එම භාණ්ඩ පොලිතීන් හා ප්ලාස්ටික් යොදාගෙන නිපදවීම නිසා
දැවැන්ත පාරිසරික හානියකට අපේ රටට මුහුණ දීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී
සඳහන් කළේය.

 එම දෙවන ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිත  පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පහත පරිදි වේ.



01.කමිස ඇසුරුම්වල ඇති Shirt Clip,

02. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි ආහාර පෙට්ටි, යෝගට් /
අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන් තහනම් කිරීම,

03. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද පොස්ටර්, දැන්වීම්, කටවුට් හා විවිධ මාදිලියේ දැන්වීම්
තහනම් කිරීම,

04. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන බීම බට (Straws) හා බීම කළතන (Stirrers)  තහනම්
කිරීම ,

05. මිලිමීටර් 400-500 දක්වා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි සිලි බෑග්
හා ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග් තහනම් කිරීම,

06. PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 400ට අඩු කුඩා බෝතල් තහනම් කිරීම,

07.  හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම තහනම් කිරීම,

08. පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන Foof Wrappers තහනම් කිරීම,

 09. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට (Beads ) අඩංගු පුද්ගලික සෞඛ්‍යරක්ෂණ
ආලේපණ Personnal care Products තහනම් කිරීම,

10. උණුසුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය එනම්- ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික්
හැඳි හා කෝප්ප යනාදිය තහනම් කිරීම,

11. PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 750ට අඩු ප්‍රමාණයේ බෝතල් තහනම් කිරීම


මෙම දෙවන
ලැයිස්තුවට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.



එමෙන්ම මෙම සියලුම භාණ්ඩ නිපදවීම සඳහා පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය හඳුන්වා දීමට ද කටයුතු
යොදා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිහු අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. නිදසුනක් ලෙස
ඉඳිආප්ප සැකසීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වෙනුවට වේවැල් හා ඉඳි කොළ ආශ්‍රිතව
ඒවා සැකසීමේ කර්මාන්තයට නව අවස්ථා ලබා දිය හැකිය.

ප්ලාස්ටික් භාවිතයට පෙර අපේ රටේ බහුල වශයෙන් යොදා ගන්නා ලද්දේ වේවැල් හා ඉඳි කොළ බව
අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නමුත් ප්ලාස්ටික් භාවිතය නිසා එම දේශීය කර්මාන්තය අභාවයට ගියේය.


රුවන් කාශ්‍යප