kapila-perera-speaks

සුම්, වට්සැප් හා මයික්‍රොසොෆ්ට් ටීම් වැනි මාර්ගගත ක්‍රම (ඔන්ලයින්) හරහා ඉගැන්වීම් කටයුතු සිදුකිරීම වෙනුවෙන් මුදල් ලබා දීමේ හැකියාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට නොමැති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඊ. තක්සලාව හරහා පාඩම් සඳහා නොමිලේ පිවිසීමට අවස්ථාව ලබාදී ඇති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.  මාර්ගගත ක්‍රම ඔස්සේ ඉගැන්වීම්  කටයුතු සිදුකිරීම

වෙනුවෙන් ගුරුවරුන්ට හා පාසල්වලට අධික මුදලක් වැයවන බැවින් ඒසඳහා අමාත්‍යාංශයෙන් යම් ප්‍රතිපාදනයක් ලබාදීමේ හැකියාවක් ඇත්දැයි කළ විමසීමේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.  ඊ තක්සලාවට මෙන්ම එල්.එම්. එස්. පාඩම් සඳහා නොමිලේ පිවිසීමට අවස්ථාව ලබාදී ඇති බවද ඒ මහතා පවසා සිටියේය.

යම් පාසලකට මාර්ගගත ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදුකිරීමේ ගැටලු පවතීනම් එම ගැටලු අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකිරීමට හැකි  බවද පෙරේරා මහතා සඳහන් කළේය.  සුම්, වට්සැප් හා මයික්‍රොසොෆ්ට් ටීම් වැනි මාර්ගගත ක්‍රම භාවිතයේදී මුදල් ගෙවීමට සිදුවන බැවින් සියලුම දරුවන්ට නොමිලේ පිවිසිය හැකි ලෙස ඊ තක්සලාව හඳුන්වාදුන් බවද කම්වරයා ප්‍රකාශ කළේය. ඊ තක්සලාවට පිවිසීමේදී එය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබි අඩවිය හරහා සිදුකරන ලෙසත්, ඊ තක්සලාව පරිහරණය කරන ලෙසත් ලේකම්වරයා ඉල්ලා සිටියේය.

නවෝද්‍යා පවනි