milk-powder-price-hike

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 140කින් වැඩි කිරීමට කිරිපිටි ආනයන සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.  ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල විශාල ලෙස ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම සහ නැව් ගාස්තු සියයට 40කින් ඉහළ යාම හේතුවෙන් සෑම කිරිපිටි කිලෝවකටම රුපියල් 30ක පමණ පාඩුවක් සමාගම්වලට සිදුවෙන බව ආරිය කිරි සමාගමේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවැසීය..



ලෝක වෙළෙඳපොළේ ඉකුත් ජනවාරි මාසයේ ඩොලර් 3200ක් වශයෙන් පැවැති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල පසුගිය මැයි මාසය වන විට ඩොලර් 4300ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි කී හෙතෙම, මේ නිසා දැනට පවතින මිලට තවදුරටත් කිරිපිටි අලෙවි කිරිමට නොහැකි බැවින් මෙම මිල වැඩිවීම ඉල්ලා සිටින බව ද කීය. මේ අතර, ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවෙමින් තිබීම හේතුවෙන් ඇතැම් සමාගම් දැනටමත් අලුතින් තොග ඇණවුම් කිරීම නතර කර ඇති අතර, තවත් සමාගම් තොග ඇණවුම් කිරීම සියයට 30කින් පමණ අඩුකර ඇතැයි ආනයන කිරිපිටි සමාගම් ආරංචි මාර්ග අනාවරණය කරයි. දැනට කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 385ක් වන අතර කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 945කි.

 (මහින්ද නිශ්ශංක)